මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික සංවර්ධන අධිකාරිය මෙම වසරේ ආරම්භ කළ ව්‍යාපෘති 215න් ව්‍යාපෘති 175ට ආසන්න ප්‍රමාණයක වැඩ අවසන්

    දෙසැම්බර් 30, 2022

    මහා භාණ්ඩාගර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 10,600ක මුදලක් වෙන්කරමින් මෙම වසර තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 215න් ව්‍යාපෘති 175ට ආසන්න ප්‍රමාණයක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව තවත් ව්‍යාපෘති 40ක වැඩ අවසන් කිරීමට නියමිතව ඇත. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම වසරේදී රට මුහුණදුන් අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම පමා වූ බවයි.

    එහෙත් ලබන වසරේදී එම ව්‍යාපෘති 40 හි වැඩ අවසන් කිරීමට පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් දැනටමත් උපදෙස් ලැබී ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියක් නගර සංවර්ධන වැඩ සටහන යටතේ මෙරට සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නාගරික මධ්‍යස්ථාන 117ක් තෝරා ගෙන නගර 116ක ව්‍යාපෘති ආරම්භ කර ඇත. ඉන් නගර 110ක වැඩ මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    එලෙස වැඩ අවසන් කෙරුණු නගර 110හි පදික වේදිකා, නාගරික විවෘත භූමිවල පිහිටි කාණු පද්ධති, මගී ආවරණ හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික මහජන අවශ්‍යතාවයන් සංවර්ධනය කර තිබේ.

    පළාත් නවයේ ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරය මගින් වෙන්කරන ලද මුදල් භාවිත කරමින් බස් නැවතුම්පළ, මහජන පොළ, පොදු වෙළඳපොළ වැනි ව්‍යාපෘති 44ක් මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති අතර ඉන් ව්‍යාපෘති 29ක වැඩ අවසන් කර ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    නාගරික ප්‍රදේශයන්හි පහසුකම් සංවර්ධනය කිරීම හා මහජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය රට පුරා ඇවිදින මංතීරු 25ක ඉදිකිරීම් ආරම්භ කරනු ලැබිණ. මේ වනවිට ඉන් 23ක වැඩ අවසන් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 778ක් වැයවී ඇත.

    එමෙන්ම මහා භාණ්ඩාගරය විසින් රාජ්‍ය ආයතන වෙත ලබාදෙන ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කරන ලද අතර ඉන් ව්‍යාපෘති 5ක වැඩ නිමවා ඇතැයිද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එමෙන්ම රට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ ව්‍යාපෘති 13ක වැඩ අඩු ප්‍රගතියක් යටතේ ක්‍රියාත්මක කෙරේ.

    බේරේ වැව වටා ඉදිවන ඇවිදින මංතීරුව හා මහජන පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අත්‍යාවශ්‍ය අංග පමණක් නිමකර වැඩ අවසන්කර ඇත. එමෙන්ම දේශපාලන නායකත්වයේ හා ජනතාවගේ ඉල්ලීම මත රුපියල් මිලියන 2452ක වැය කරමින් ඉදිකිරීම ආරම්භ කළ යාපනය නගර ශාලාව ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉදිරි වැඩ නිමකිරීම සඳහා යාපනය මහනගර සභාව වෙත භාරදීමට නියමිතව ඇත. එහි ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 1200 ක මුදලක් වැයවී ඇති අතර වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නිම කිරීම සඳහා රුපියල් මිලියන 2620ක මුදලක් අවශ්‍ය ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    හෝමාගම තාක්ෂණික නගරය සඳහා ප්‍රවේශය සපයනු ලබන ප්‍රධාන මාර්ගයක සංවර්ධන කටයුතු දැනට ඉඩම් අත්පත් කරගත් ව්‍යාපෘති කොටස අවසන් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 583ක මුදලක්
    වැයවී ඇත. ඊට අමතරව නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදලින් රුපියල් මිලියන 8000ක් යොදවා සෙත්සිරිපාය තෙවන අදියර ඇතුළු ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක අතර ඉන් ව්‍යාපෘති 3ක වැඩ අවසන් කර තිබේ. ඉතිරි ව්‍යාපෘති අඩු ප්‍රගතියක් සහිතව පවත්වාගෙන යාමට යෝජිතව ඇතැයිද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya