මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘’ ශිල්ප 2022 සිර සර ˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ කුසලතා කලඑළි දැක්වීමේ ප්‍රදර්ශනය විවෘත කෙරේ

    දෙසැම්බර් 28, 2022

    ‘’ ශිල්ප 2022 සිර සර ˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ කුසලතා කලඑළි දැක්වීමේ ප්‍රදර්ශනය විවෘත කෙරේ

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ වෙනසකට භාජනය කළ යුතු බවත් ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සදහා මහා පරිමාණ ලෙස මත් ද්‍රව්‍ය ගෙන්වන පුද්ගලයින් හා බෙදා හරින්නන් මර්දනය කළ යුතු බවත් සුළු වැරදි සදහා බන්ධනාගාරගත වන පුද්ගලයින් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අපරාධකරුවෙකු ලෙස නැවත සමාජ ගත වන අවස්ථාවන් ද පවතින බැවින් ඒ පිළිබදව අවධානය යොමු කළ යුතු බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බත්තරමුල්ල දිය්ත උයන පරිශ්‍රයේ පැවති ‘’ ශිල්ප 2022 සිර සර ˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා කලඑළි දැක්වීමේ කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (27) එක්වෙමිනි

    එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාරගත රැදවියන් උසස් වටිනා නිර්මාණ ඉදිරිපත් කර තිබීම සතුටුදායක කරුණක් බවත්, එම තත්වය තවදුරටත් වැඩි දියුණු කරමින් උසස් බන්ධනාගාර පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුර්ණ වෙසකට භාජනය කළ යුතුව ඇති බවත්, ඒ සදහා 1934 වසරින් පසුව ප්‍රථම වරට බන්ධනාගාර රෙගුලාසි වර්තමානයට ගැළපෙන පරිදි සම්මත කර ඇති බවත්, සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් ප්‍රකාශ කළ පමණින් ඵලක් නොමැති බැවින් ඒ අය දෙස මානුෂිකව සලකා බලා කටයුතු කළ යුතු බවත් පැවසීය.
    සිරකරුවන් බන්ධනාගාරගත වන වරද හෝ දඩුවම කුමක් වුවත් බන්ධනාගාර නිලධාරීන් සිදු කළ යුතු වන්නේ රැදවියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වන අතර, ඇතැම් අවස්ථාවන්වලදී සුළු අතපසුවීම් සිදු වුව ද වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැකි උපරිම ආකාරයෙන් සිරකරු අයිතීන් සුරක්ෂිත වන පරිදි කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අද වන විට බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගෙන් සීයයට 85 ක්ම මත් ද්‍රව්‍ය සම්බන්ධ රැදවියන් වන අතර එම සංඛ්‍යාවෙන් සීයයට 95 ක්ම මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් බවත්, ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සදහා මත් ද්‍රව්‍ය මහා පරිමාණ ලෙස ගෙන්වන පුද්ගලයින් හා බෙදා හරින්නන් මර්දනය කළ යුතු බවත්, මෙරට තුළ මත් ද්‍රව්‍ය මේ තරම් දුරට ව්‍යාප්තවීම සදහා ඇතැම් දේශපාලඥයින්ගේ මෙන්ම ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය හිමිවී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.


    මේ වන විට වරදකරුවන් බවට පත්ව බන්ධනාගාරගතව සිටින රැදවියන් පිළිබදව තොරතුරු එක් රැස් කිරීම සදහා කමිටු කිහිපයක් පත් කර ඇති අතර ඔවුන් අතර සිටින රෝගාබාධවලට ලක් වුවන්, වයස් ගත වුවන් හා වෙනත් ආබාධවලින් පෙලෙන රැදවියන් හදුනා ගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරනු ලබන විශේෂඥ කමිටු නිර්දේශ මත එළඹෙන නිදහස් දිනය වන විට විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සදහා කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍යවරයා කිය සිටියේය.


    මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පුනරුත්ථාපන පනත යටතේ මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින අයට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීමේ අවස්ථාව ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, සුළු වැරදි සදහා බන්ධනාගාරගත වන සිරකරුවන් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෝ අපරාධකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් නැවත සමාජ ගත වන අවස්ථාවන් ද පවතින බැවින් ඒ පිළිබදව අවධානය යොමු කළ යුතුව ඇති බවත්, අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.


    බන්ධනාගාරගත රැදවියන්ගේ නිර්මාණ කුසලතා එළි දැක්වීමේ අලෙවි හා ප්‍රදර්ශණ කුටි විවෘත කිරීමෙන් අනතුරුව එම කුටි නිරීක්ෂණය කිරීමට හා රැදවියන් විසින් අලෙවි කළ භාණ්ඩ මිළදී ගැනීමට ද අධිකරණ අමාත්‍යවරයා ඇතුලු පිරිස එක් විය.


    මෙම නිෂ්පාදන අලෙවි කිරිමෙන් ලබා ගන්නා මුදල් රජය විසින් බන්ධනාගාරගත නේවාසිකයන් වෙනුවෙන් වැය කරනු ලබන මුදල් අවම කිරීම සදහා යොදවනු ලබයි.
    අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුලු අධිකරණ අමාත්‍යාංශය , බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya