මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ලබා දී ඇති ණය මුදල් අය කර ගැනීමේ ඉලක්කගත කඩිනම් වැඩපිළිවෙලක්

    අගෝස්තු 25, 2022

    • 1979 සිට අද දක්වා අධිකාරියට අයවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 10 ඉක්මවයි.
    • මාසිකව එකතුවිය යුතු මිලියන 563 ණය මුදලින් ජූලි මාසයේදී එකතු වී ඇත්තේ රුපියල් මිලියන 127 පමණයි


    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති ණය මුදල් අය කර ගැනීමට කඩිනම් වැඩ පිළිවෙලක් සැකසේ.
    මාසිකව රුපියල් මිලියන 300 ක ණය මුදල් අය කර ගැනීමේ ඉලක්ක ගත වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට (19) උපදෙස් ලබා දුන්නේය. මාසිකව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අයකර ගත යුතු ණය මුදල රුපියල් මිලියන 563 කි. එම මුදල කඩිනමින් එකතු කිරීම සම්බන්ධයෙන් හා ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් දැනුවත් කිරීම සඳහා මහනුවරදී පැවැති විශේෂ වැඩමුළුවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. වැඩමුළුව පැවැත්වුණේ මහනුවර, රජපීල්ල ඔක්රේ උත්සව ශාලාවේදීයි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ වූ 1979 සිට අද දක්වා මෙරට ජනතාවට ලබා දී ඇති ණය ප්‍රමාණයෙන් අය කර ගැනීමට තිබෙන සම්පූර්ණ ණය රුපියල් බිලියන 10 කි.

    ඉන් මාසිකව අය කරගත යුතු මුදල රුපියල් මුදල මිලියන 563 ක් වුවද පසුගිය ජූලි මාසය වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයකර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් මිලියන 127 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස 23% ක් පමණ වන බවද මෙම සාකච්ඡාවේදී හෙළි විය. 2015 - 2019 කාලයේදී එම අධිකාරිය සතු සියළු වත්කම් හා මුදල් භාවිතා කරමින් ණය ලබා දී තිබිණි. එම ණය සම්පූර්ණ වාරික ලබා නොදීම හේතුවෙන් අයකර ගැනීමේ ගැටළු මතුව තිබීම මෙම තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් බව එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජනාක මහතා මෙහිදී හෙළි කළේය. ඊට අමතරව කොවිඩ් වසංගතය, ආර්ථික ගැටළුව හා රටේ පැවැති දේශපාලන අස්ථාවරය මෙම ණය අය කර ගැනීම අවම වීමට හේතුවී ඇතැයිද ඔහු කීවේය.

    එම අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මෙහිදී සදහන් කළේ ණය අයකර ගැනීම සඳහා ඉදිරි කාලයේදී දිස්ත්‍රික් කළමනාකරුවන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ණය වාරික නිසි අයුරින් එකතු කිරීමට නොහැකි තත්ත්වයකට පත් වුවහොත් ආයතනයේ සේවකයින්ගේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

    ඒ අනුව මාසිකව රුපියල් මිලියන 300 ණය වාරික අයකර ගැනීම අධිකාරියේ ඉලක්කය බවත්, එය අනිවාර්ය බවත් පැවැසූ සභාපතිවරයා නුවර හෝටලයක සාදයක් පැවැත්වීමට අධිකාරිය කටයුතු කර ඇතැයි පළව තිබූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළේය.

    ඔහු කීවේ අධිකාරිය යළි ශක්තිමත් කිරීමට නව කලමනාකාරීත්වය ගනු ලබන ක්‍රියාමාර්ග වලට එරෙහිව යම් යම් දේශපාලන කණ්ඩායම් මෙවැනි චෝදනා නගන බවයි.
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් වල අනවසර පදිංචිකරුවන් හා අනවසර ඉදිකිරීම් සිදු කිරීම් රැසක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බවත් සභාපතිවරයා කීවේය.

    මෙහිදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන නිවාස අවශ්‍යතාවය ඉටු කිරීම වෙනුවෙන් සැකසුන බවයි. මෙම ආයතනයට අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත් වීම සිදු වූ නිසා එය කඩා වැටීමටක හේතු වූ බවත් එය යළි ගොඩ නැංවීම සිය අපේක්ෂාව බවත් පැවැසූ ඇමතිවරයා පවතින ආර්ථික අර්බුදය යථා තත්ත්වයට පත් වූ වහාම නව නිවාස ව්‍යාපෘති යළි ආරම්භ කරන බවද කීවේය.

    කාලන්තරයක් තිස්සේ නොවිසදී ඇති නිවාස ගැටළු විසදීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා වැඩසටහන් වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මෙම වැඩමුළුව සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ සියළු දිස්ත්‍රික් කළමනාකරුවෝ සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya