අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 782 ක් වගා කිරීමට හඳුනා ගැනේ

    ජූනි 10, 2022

    නාගරික ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ නාගරික සවංර්ධන අධිකාරියට අයත් අක්කර 782 ක් වගා කිරීම සඳහා හඳුනා ගැනේ. මෙම ඉඩම් වගා කිරීම කඩිනමින් ආරම්භ කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට (07) උපදෙස් දුන්නේය.

    දිවයින පුරා සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ඉඩම් පිහිටා තිබේ. ඒවා ඉඩම් අක්කර 01 සිට 400 දක්වා ප්‍රමාණයන්ගෙන් සමන්විතයි. ඒ ඒ ප්‍රදේශවලට ආවේණික බෝග හඳුනාගෙන මෙම ඉඩම්වල වගා කරන ලෙස ද ඇමතිවරයා බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

    ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව පැවති සාකච්ඡාවකදීය. නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ.

    ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රයෝජනයට නොගත් නාගරික ඉඩම්වල වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී පෙන්වා දුන් ඇමතිවරයා එමඟින් ජනතාවට සහනයක් සැලසීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පළ කළේය. නාගරික සංවර්ධන අධිකාරිය මෙතෙක් ආරම්භ නොකළ මහා පරිමාණ ව්‍යාපෘති තාවකාලිකව නතර කරන ලෙසත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පමණක් ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දුන් ඇමතිවරයා මේ වන විට විකුණා ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් දේපලවලට ලැබීමට තිබෙන හිඟ මුදල් කඩිනමින් ලබා ගැනීම සඳහා වැඩපිලිවෙලක් සකස් කරන ලෙස ද කීවේය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර අවසන් කර ඇති නිවාස කඩිනමින් විකිණීම සඳහා අලෙවි සැලැස්මක් ද සකස් කල යුතුව තිබේ. අනාගතයේ දේපල වෙළඳාම් කිරීම සඳහා පවතින දේපලවල වෙළඳපල මිලට සාපේක්ෂව වටිනාකම තීරණය කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

    මේ මොහොතේ රට තුළ ආරම්භ කරන ව්‍යාපෘතිවලින් බහුතරය ඉදිරි ආහාර අර්බුදය විසඳීම සඳහා ඉලක්ක කරගත් ව්‍යාපෘති වීම ඉතා වැදගත් යැයි පැවසූ ඇමති රණතුංග මහතා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා පළමු පියවර තැබීම සතුටට කරුණක් බව ද කීවේය. තමන්ට පැවරී ඇති විෂය පථයෙන් බැහැරව ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘති පහසු නොවුන ද එම ඉලක්ක ජය ගැනීම මේ මොහොතේ රටේ අනාගතය වෙනුවෙන් අනිවාර්ය බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

    නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර සැලසුම් ශිල්පී ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් ද සහභාගි වී සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya