අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේ ම අවසන් කළ යුතුයි

    ජූනි 10, 2022

    ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේ ම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, පසුගියදා කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ කාර්යාලයේ පැවති සේවක නියෝජිත හමුවේදීය.

    මෙම ප්‍රතිව්‍යුහගත ගත කිරීම තුළින් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත්, ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස තමන් ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බව අමාත්‍යවරයා කීය .
    .
    මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,දීර්ඝ කාලයක් සුදු අලියෙක්ව පැවති මෙම ගුවන් සමාගම නඩත්තු කිරීමට මේ රටේ සංවර්ධනයට යොදා ගත හැකිව තිබූ බදු මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති බව ය. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් මෙම ආයතනය මහජන මුදලින් නඩත්තු කිරීම රටටම කරන අසාධාරණයක් බව කී අමාත්‍යවරයා ,එම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කළ යුතුය යන්න මූලික වශයෙන් අපි සැවොම පිළිගත යුතු බවද අවධාරණය කළේය.

    මෙම ගුවන් සේවය ගුවන් ප්‍රතිව්‍යුහගත කිරීමට හොඳ මොඩලයක් සැකසිය යුතු බවත්,ඒ අනුව මෙම ගුවන් සේවය බාර ගැනීමට දේශීය ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නම් ඉතා අගය කරන බව අමාත්‍යවරයා පැවසීය.

    කුමන මොඩලයේ ප්‍රතිව්‍යුහගත කරන යෝජනාවක් ඉදිරිපත් කළ ද ,සේවක අයිතිවාසිකම් උල්ලංඝණය නොවන ආකාරයට එම වැඩපිළිවෙළ සකස් කළ යුතු බවත්,සමාගම ඉදිරිපත් කරන ප්‍රතිව්‍යුහගත කරන වැඩ පිළිවෙල පිළිබඳව වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කර, අනතුරුව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ද එම යෝජනාවලිය ඉදිරිපත් කර විනිවිදභාවයෙන් එය කරන බව අවධාරණය කල අමාත්‍යවරයා ,එහෙත් මේ සියලු කටයුතු කරමින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුව ඇතැයි ද පැවසීය.

    "අද වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව එකම ගුවන් යානාවක් වත් නැති බවත්, සමාගම සතු ගුවන් යානා (21) විසි එකම කුලී පදනම මත ලබා ගත් ඒවා බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කීර්තියත් ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ගොඩබෑමට විවිධ රටවලින් අප වෙත ලබාදී ඇති ද අවසරය හා පහසුකම් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පුහුණු හා කාර්යක්ෂම සේවකයින් මෙම සමාගමට අයත් ප්‍රාග්ධනය බවත් එය සැලකිල්ලට ගෙන ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු බවත්, මේ පිළිබඳ දැනටමත් තමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඇති බවත්" අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ අප වෙත ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමා වෙත සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ කටයුතු පිළිබඳ ජාත්‍යන්තරව කීර්තියක් දිනා ගෙන ඇති බවත්,එම අංශය වඩාත් ශක්තිමත් කිරීම තුළින් අප රටට විශාල ආදායමක් උපයාගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ පරිපාලනය සමාගමට බරක් බවත් නිසි පිරිස් කළමනාකරණයක් හා ප්‍රතිව්‍යුහගත කිරීමක් තුළින් වියදම් අඩු කර ගැනීම කළ හැකි බව තමා වෙත තොරතුරු ලැබී ඇති බව ද ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමප්‍රතිව්‍යුහගත කිරීමේ දී එහි වෘත්තීය සමිති ඉදිරිපත් කරන යෝජනා සහ අදහස් අනිවාරයෙන්ම සැලකිල්ලට ගන්නා බවද අමාත්‍යවරායා පැවසීය.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,ශ්‍රී ලංකන් කේටරින් සමාගම,ශ්‍රී ලන්කන් විධායක නිලධාරී සංගමය,භූමි මෙහෙයුම් (Ground handling) නිලධාරීන්ගේ සංගමය,ගුවන් යානා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය ඇතුළු සේවක සංගම් කීපයක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක් වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya