මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඳු බෑවුම් සහ නායයෑම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන්න

    ජූනි 02, 2022

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහනුවර , කෑගල්ල , රත්නපුර , කළුතර , ගාල්ල මාතර සහ නුවරඑළිය , මාතලේ කුරුණෑගල දිස්ත්‍රික්ක සහ ඒ අවට ඇති ප්‍රදේශවල ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගත් කඳු බෑවුම් සහ නායයෑම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය, ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.

     

    වත්මන් කාලගුණික තත්වය සහ ආපදා සහන ක්‍රියාවලිය පිළීබඳ දැනුවත් කිරීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    විශේෂයෙන්ම මේ පිළීබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කළ බව පෙන්වා දෙන ඒ මහතා මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ නිවෙස් අවට කාණු පද්ධති නිසි ලෙස සකස් කොට ජල වහන රටාව ක්‍රමවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    කඳුබෑවුම්වල ජල වහන රටාව අවහිර වුවහොත් නාය යාමේ සහ කණ්ඩි කඩා වැටීමේ තත්වයන් ඇති වෙන බැවින් තමාගේ නිවසට ඉහළින් සහ පහළින් ඇති ප්‍රදේශවල ජලවහන රටාව පිළිබඳවද සිය අවධානය යොමු කළ යුතු බව ඒ මහතා කියා සිටී.විශේෂයෙන්ම නිරිත දිග මෝසම් වර්ෂාව සමග පැති බැමි අස්ථාවරවීම් නිරීක්ෂණය කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා මෙසේ වන්නේ පැතිබැමිවල පිහිටා ඇති කුහර අවහිර වීමෙන් බවත් ඒවා මනා ලෙස පිරිසිදු කර ගන්නා ලෙසද ඒ මහතා ඉල්ලීමක් කෙරේ.

    මධ්‍යම කඳුකර ප්‍රදේශවල ස්වයංක්‍රීය වර්ෂාපතනමාන සවිකර ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් සමග මිලිමීටර 75 ක දෛනික වර්ෂාපතනයක් ලැබීමේදී කඳුබෑවුම්වල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම් දෙන බවත් එම වර්ෂාපතනය පැය 24ක් ඇතුළත මිලිමීටර් 100කට වඩා වැඩි වුවහොත් අවධානයෙන් හෝ ඉවත්වීමට සූදානම් වන ලෙසත් මෙම වර්ෂාපතනය තවදුරටත් වැඩිවුවහොත් එනම් පැය 24ක් ඇතුළත මිලිමීටර් 150කට වඩා වැඩි වුවහොත් කඳු බෑවුම් අස්ථාවරවීමට ඇති ඉඩකඩ වැඩි බැවින් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් ඒ මහතා අවධාරණය කරයි.මෙම තත්වය නායයාමේ රතු නිවේදනයක් නිකුත් කිරීම ලෙස හඳුන්වන බවද ඒ මහතා පැවසීය.

    එසේ නායයාමේ රතු නිවේදනයක් නිකුත් කර ඇති අවස්ථාවන්වලදී ඇතැම් පුද්ගලයන් ඒ පිළිබඳව සැළකිල්ලක් නොදක්වන බව පැවසූ ඒ මහතා පසුගිය අවස්ථාවකදී කෑගල්ල ප්‍රදේශයේ අවාසන්වන්ත අනතුරු සිදුවූ බව ඒ මහතා පෙන්වා දේ.

    නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති අවස්ථාවක එම ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස ජනතාවගෙන් ඒ මහතා ඉල්ලීමක් කෙරේ.තවද පොළව ඉරි තැලීම් ගස් ඇළවීම් වැනි තත්වයන් නිරීක්ෂණය වුු විටකද එම ප්‍රදේශවලින් වහාම ඉවත්වී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ ප්‍රදේශීය ලේකම්වරයාට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කෙරේ.ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරීන් සම්බන්ධ කර ගෙන එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු වීමෙන් අනතුරුව එම ස්ථානවෙත නැවත පැමිණෙන ලෙසද ඒ මහතා දැනුම් දේ.එසේම නායායම් සිදුවූ ප්‍රදේශ නැරඹීමට යාමෙන් වළකින දෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන උපදෙස් පිළීබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya