මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැන් වැසි අඩුවී ඇතත් ආපදා සහන සේවා සූදානම දිගටම - ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානි

    ජූනි 02, 2022

    අද වන විට දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසිතත්වය පසුගිය දින කිහිපය හා සැසඳීමේදී අඩුවී ඇතත් ජනතාවට සහන සේවා සැලසීම සඳහා වන සූදානම නොවෙනස්ව පවත්වා ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික), සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ වත්මන් කාලගුණික තත්වය සහ ආපදා සහන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිළි කිරීම සඳහා අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    දැන් සක්‍රියව පවත්නා නිරිතදිග මෝසම් තත්වය නිසා පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 43 ක් ආපදාවට ලක් වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. කොළඹ, මාතර, කෑගල්ල, ගම්පහ, මහනුවර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක ආපදාවට ලක් විය. එම ප්‍රදේශවල පවුල් 192 ක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථානයන 10 ක රැකවරණය ලබා සිටිති. ආපදාවට පත් මුළු පවුල් ගණන 5357 ක් පමණ වේ. පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 22338 කි. නිවාස 174 ක් සුළු හා අර්ධ වශයෙන් හානියට ලක්වී ඇත. ආපදා සහන සේවා නිලධාරියකු මියගොස් ඇත.

    මේ වනවිටත් කොළඹ, රත්නපුර, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ ගංවතුරින් යටවී ඇති අතර ඉදිරියේදී  ජලය බැස යනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වුවද ආපදා සහන සේවා සැපයීමේ සූදානමින් ත්‍රිවිධ හමුදාව ස්ථානගත කිරීම තවමත් ඒ අයුරින්ම ක්‍රියාත්මකව පවතී. නාවික හමුදා යාත්‍රා මෙන්ම යුද්ධ හමුදාවේ රථවාහන ආදියද ත්‍රිවිධ හමුදා නිලධාරීහුද ජනතාවට අවශ්‍ය අවස්ථාවකදී සහන සැපයීම වෙනුවෙන් සූදානම්ව සිටිති.

    ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ, පසුගිය දින කිහිපය හා සාපේක්ෂව අද වන විට වර්ෂාපතනය අඩු වී ඇතත් නිරිතදිග මෝසම් තත්වය සැප්තැම්බර් දක්වා බලපවත්වන බැවින් ගංවතුර හෝ නායයාම් ආපදා අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැති බවයි. කෙසේ වුවත් ගාල්ල, මාතර, නුවර, නුවරඑළිය හා රත්නපුර වැනි දිස්ත්‍රික්කවල අද මිලිමීටර 50 -75 පමණ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    ගොඩබිම හා විශේෂයෙන්ම කන්කසන්තුරේ සිට පුත්තලම හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ තද සුළං අපේක්ෂා කළ හැකි බැවින් ධීවර ප්‍රජාව ඒ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය. නිරිත දිග මෝසම් සමයේ බෙංගාල බොක්ක වැනි ලංකාව අවට මුහුදේ අඩු පීඩන කලාප නිර්මාණය වුවහොත් ඒවායේ සෘජු බලපෑම දිවයිනට එල්ල විය හැකිය. එබැවින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලු අදාළ ආයතන නිකුත් කරන දැනුවත් කිරීම් හා අනතුරු ඇඟවීම් පිළිබඳව ජනතාව අඛණ්ඩ අවධානයෙන් සිටීම ආපදා අවම කරගැනීමට උපකාරී වේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජලවිද්‍යා), ඉංජිනේරු එස්.පී.සී.සුගීස්වර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවෙමින් පැවසුවේ ලැබුණු වර්ෂාපතනය නිසා ජලවිදුලි උත්පාදනයට වැඩි දායකත්වයක් ලැබෙන ලක්ෂපාන සංකීර්ණයේ ප්‍රධාන ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි. කාසල්රී ජලාශයේ ජලධාරිතාව 72% ක් වන අතර මාඋස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව 80% කි. එමෙන්ම, මහවැලි ජලාශ පද්ධතියේ සමස්ත ජල ධාරිතාව 50% ක පමණ මට්ටමට ළඟා වී ඇත. වර්ෂයේ මෙම කාලයේදී එම ජලාශවල සාමාන්‍ය ජලධාරිතාව හා සසඳන කල වත්මන් මට්ටම හොඳම තත්වය ලෙස සැලකිය හැකි නොවූවද සතුටුදායක බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

    පසුගිය දිනවල අත්තනගලු, කැළණි, කළු, ගිං, නිල්වලා වැනි ගංගාවන් ආශ්‍රිතව ඇති වූ ගංවතුර හා සුළු ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩුවී ඇති බව ඔහු කීය. මෙම ගංගාවල ඉහළ ප්‍රදේශයේ ජල මට්ටම සාමාන්‍ය තත්වයට පත්ව තිබේ.

    පහළ ප්‍රදේශවල ජලමට්ටම් පෙර දිනවල මෙන්ම පවත්නා නමුත් වර්ධනයක් අපේක්ෂා නොකෙරේ. කැළණි ගංගාව ආශ්‍රිතව කිසිදු ගංවතුර තර්ජනයක් නොමැත. කළු, ගිං, නිල්වලා ආදී ගංගා ආශ්‍රිත පහත් ප්‍රදේශවල පවත්නා තත්වය අදත් එසේම පැවතිය හැකි නමුත් වැඩි වීමක් සිදු නොවනු ඇත. විශේෂ දැනුම්දීමක් කරමින් අධ්‍යක්ෂවරයා පැවසුවේ ගංවතුර බැසයමින් පවතින මාර්ගවල බොරවතුර අඩුවී පැහැදිළි වනතෙක් වාහන ගමනාගමනය නොකළ යුතු බවයි. බොර ජලය සහිත මාර්ග වල ඇතිවී තිබෙන හානිවීම් නොපෙනෙන බැවින් අනතුරු සිදු විය හැකිය.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියේය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya