මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය- ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත

    මැයි 25, 2022

    ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඊයේ (24) සහතික වූවාය.

    එසේම වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ලබන ජුලි, අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඇය සදහන් කළාය.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහාය අගය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල් රැසක් දක්වන සහයෝගය ද මෙහිදී අගය කළේය.

    ළදරුවන්ගේ සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් කැපවෙන බවද ආචාර්ය අලාකා සිං මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

    ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 2 ක සෞඛ්‍ය පහසුකම් පිරිනමන බවද ඇය කීවාය.

    ශ්‍රී ලංකාව සෞඛ්‍ය රක්ෂණයකට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද කළේය.

     කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ මෙම අවස්ථාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් සම්බන්ධීකාරක, තාක්ෂණ සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya