මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනතුරු වැළැක්වීම සහ කළමණාකරණය පිළිබද උපාය මාර්ගික බහු පාර්ශ්වීය ක්‍රියාකාරි සැළැස්ම එළිදැක්වේ

    අප්‍රේල් 27, 2022

    ශ්‍රී ලංකාවේ පළමුවරට අනතුරු වැළැක්වීම සහ කළමණාකරණය පිළිබද උපාය මාර්ගික බහු පාර්ශ්වීය ක්‍රියාකාරි සැළැස්ම (2021-2025) එළිදැක්වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීමේ ජාතික කේන්ද්‍රස්ථානය වන බෝනොවන රෝග ඒකකය විසින් අනතුරු වැළැක්වීම හා සම්බන්ධව කටයුතු කරන බොහෝ පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සකස් කරන ලද අනතුරු වැළැක්වීම සහ කළමණාකරණය පිළිබද උපාය මාර්ගික බහු පාර්ශ්වීය ක්‍රියාකාරි සැළැස්ම (2021-2025) එළිදැක්වීම (26 දින) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.

    බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ඇතුලු වෛද්‍යවරු විසින් මෙම සැළැස්ම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

    මෙම සැළැස්මෙන් රථවාහන අනතුරු, දියේ ගිලීමෙන් සිදුවන අනතුරු, ගෘහාශ්‍රිතව සිදුවන අනතුරු, වැඩබිම්වල සිදුවන අනතුරු, දරුවන්ට සහ වැඩිහිටියන්ට සිදුවන අනතුරු මෙන්ම අනතුරුවලට ලක්වීමෙන් පසු ප්‍රතිකාර හා රැකවරණය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කර ඇත.

    මෙරට රෝහල් ගතවීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙන්ම සමස්ථ මරණ වලට හේතුවන සාධක අතුරින් 04 වන තැන ගනු ලබන්නේ ද හදිසි අනතුරු බවට හදුනාගෙන ඇති බව බෝනොවන රෝග ඒකකය පෙන්වා දෙයි, ඒ අනුව ආබාධිත තත්ත්වයට පත්වීමට හා ජිවිත විශාල ප්‍රමාණයක් අහිමිවිමට ද හදිසි අනතුරු හේතු සාධක වී ඇත.

    වාර්ෂිකව මිලියන 1.2 කට වැඩි පිරිසක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර සදහා රෝහල්වල නේවාසික ප්‍රතිකාර සදහා යොමු වන අතර, හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් 12000 ක පමණ පිරිසකට ජිවිත අහිමි වේ.

    හදිසි අනතුරු හේතුවෙන් රජයේ රෝහල්වලට ඇතුලත් කෙරෙන රෝගීන්ගෙන් වාර්ෂිකව 2800 ක් පමණ මිය යනු ලබයි. මුළු මරණ වලින් ¾ සිදු වන්නේ ප්‍රතිකාර සදහා රෝහල් ගතවීමට පෙර අනතුර සිදු වූ ස්ථානයේදිම හෝ රෝහලට රැගෙන යන අතරතුර වීම ද විශේෂත්වයකි. ඇස්තමේන්තු වලට අනුව හදිසි අනතුරු නිසා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතු ගණන දළ වශයෙන් වසරකට මිලියන 04 ක් පමණ විය හැකි අතර, ඒ අනුව සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සෑම 05 දෙනෙකුගෙන් එක් අයෙකුම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතු ආකාරයේ අනතුරකට පත්විය හැක.

    ඵලදායි වයස් සීමාවට අයත් වයස අවුරුදු 15-44 කාණ්ඩයේ ප්‍රම්‍රඛතම සෞඛ්‍ය ගැටළුම මෙන්ම එම වයස් සීමාවේ සිදුවන මරණ වලට ප්‍රධානතම හේතුව වන්නේ ද හදිසි අනතුරුයි. ඉහත කරුණු අනුව සෑම පැය 03කට වරක් අවම වශයෙන් පුද්ගලයෙන් 04 දෙනෙකු මියයන බව සෛෟඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන ‍රෝග අංශය සදහන් කරයිි.

    නොදැනුවත්ව සිදුවන අනතුරු නිසා වන අනතුරු අතර මාර්ග අනතුරු ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. එමගින් සිදුවන මරණ ගණන 3000 ට වඩා අධිකය. දැනුවත්ව සිදුවන අනතුරු අතර ප්‍රධාන තැනක් ගන්නා සියදිවි හානිකර ගැනීම නිසාත් වසරකට 3000 කට අධික ගණනකගේ ජිවිත රටට අහිමි වේ. මිට අමතරව විෂවීම්, වැටීම්, දියේ ගිලීම්, සත්ත්ව දෂ්ඨ කිරීම්, සතුන් පහරදීම් මෙන්ම සහසිකකම් සහ මිනිමැරුම් ආදී අනතුරු නිසා ද දහස් ගණනකගේ ජිවිත අහිමිවේ.

    විශේෂයෙන්ම වෙනස් කළ හැකි අවධානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් ප්‍රමාණවත් පුර්වාරක්ෂාවන් ගතහොත් සෑම අනතුක්ම පාහේ ඵලදායි ලෙස හදුනාගෙන ඇතත්, අනතුරු වැළැක්වීම සහ කළමණාකරණය සදහා ප්‍රමාණවත් ප්‍රමුඛතාවයක් ලබාදී නොමැත. අනතුරුවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා ඉතා ලාභදායි මැදිහත්වීම් තිබුණ ද සහ බොහෝ පාර්ශ්වකරුවන් අනතුරු වැළැක්වීමේ ක්‍රියාකාරකම් සිදු කළ ද එවායින් බොහෝමයක් දුර්වල ලෙස සම්බන්ධීකරණය වී ඇති අතර, පොදු ඉළක්ක කරා යොමු නොවන බවත්, එබැවින් වඩා හොද අනතුරු වැළෑක්වීමේ සහ කළමණාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සදහා පුළුල් ඉළක්කගත ප්‍රවේශයක් සහ විවිධ අංශවල දායකත්වය අත්‍යාවශ්‍ය බව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය පෙන්වා දෙන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බෝනොවන රෝග වෛද්‍ය සුසී පෙරේරා, බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, බෝනොවන රෝග ඒකකයේ අනතුරු වළක්වා ගැනීමේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya