මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැටී වීරකෝන් කම්කරු ව්‍යාපාරය,වෘත්තීය සමිති ව්‍යාපාර ශක්තිමත් කළ විශිෂ්ට නායකයෙක් - අග්‍රාමාත්‍ය

    මාර්තු 26, 2022

    බැටී වීරකෝන් මැතිතුමා කම්කරු ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාර ශක්තිමත් කිරීමට සෑම විටම උත්සාහ කරමින් ජනතාවට සේවය කළ විශිෂ්ට නායකයෙක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ මහතා මේබව ප්‍රකාශ කළේ බැටී වීරකෝන්,එම්.එස්.සෙල්ලසාමි,ජස්ටින් ගලප්පත්ති,තංගේෂ්වරී කදි-රාමන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනාවන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරමිනි.

    තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ “ බැටී වීරකෝ මැතිතුමා සමග මට ඉතා කිට්ටුවෙන් වැඩ කිරීමට අවස්ථාව ලැබුණා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත්. විශේෂයෙන් ඔහු කම්කරු
    ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී ඉතා කිට්ටුවෙන් කටයුතු කළා. එතුමා ඉතා නිහතමානී අයෙක්.” බවයි. අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කථාව පහතින් දැක්වේ.

    ගරු කථානායකතුමනි,
    මෙම පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වන බැටී වීරකෝන් මැතිතුමා, එම්.එස්.සෙල්ලසාමි මැතිතුමා, ජස්ටින් ගලප්පත්ති මැතිතුමා, තංගේෂ්වරී කදි-රාමන් මැතිණිය පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනාවන් මා මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා.

    ගරු කථානායකතුමනි,
    ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි බැටී වීරකෝන් මැතිතුමා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ සමකාලීනයෙක්. එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සභාවේ සභාපති ලෙස ද කටයුතු කළා. වාම වාදී දේශපාලනයට කැපවූ එතුමා 1953 හර්තාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට එයට සම්බන්ධවී සිය විප්ලවකාරී දේශපාලනය මනාව පෙන්නුම් කළා. සමසමාජ පක්ෂයට බැඳුණු එතුමා එන්.එම්., කොල්වින්, ලෙස්ලි, බර්නාඩ් සොයිසා වැනි වාමාංශික ප්‍රබලයින් සමග දේශපාලන කටයුතු වල නිරත වුනා. ලංකා කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය වැනි භාරධූර වගකීම් දරමින් වාමාංශික දේශපාලනය තුල එතුමා විසින් සිදුකල ප්‍රගතිශීලී අරගලයන් අදටත් ආදර්ශයක් බව මෙහිදී සඳහන් කළ යුතුයි. 1995 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වු බැටී වීරකෝන් මැතිතුමා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වරයා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනු ලැබුවා.
    වාමාංශික ක්‍රියාකාරීකයකු, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වගේම නීතිඥවරයෙකු ලෙසත් කාර්ය බහුල අයෙකු වූ බැටී වීරකෝන් මැතිතුමා සිය කාර්ය බහුල ජීවිතය අතරතුර පොත්පත් රචනා කිරීමටත් ඔහුගේ කාලය වෙන් කළා. සාහිත්‍ය ග්‍රන්ථ රැසක් සහ නීති ක්ශේත්‍රයට අදාළ ග්‍රන්ථ ඔහුගේ නිර්මාණ අතර තිබුනා.

     
    කම්කරු හා දේශපාලන අරගල වලදී වගේම පරිසරය සුරැකීමේ අරගල වලදී ද එතුමා කැපීපෙනෙන චරිතයක් වුනා. එප්පාවල පොස්පේට් නිධිය සුරැකීමේ ව්‍යාපාරය වගේම තවත් පරිසරය සුරැකීමේ ව්‍යාපාර රැසක ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ බව මෙහිදී සිහිපත් කල යුතුයි. 2019 දී අභාවයට පත් බැටී වීරකෝන් මැතිතුමා කම්කරු ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාර ශක්තිමත් කිරීමට සෑම විටම උත්සාහ කරමින් ජනතාවට කළ සේවය විශිෂ්ට බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

    ගරු කථානායකතුමනි,
    එම්.එස්. සෙල්ලසාමි මැතිතුමා ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයෙකු ලෙස 1989 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කර මන්ත්‍රිවරයෙක් වශයෙන් ප්‍රථම වරට තේරීපත් වුනා. ඒ ආණ්ඩුවේ ප්‍රවාහන රාජ්‍ය අමාතයවරයා ලෙසත් පසුව කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කළා. 2000 වසරේ දී හා 2004 වසරේදී ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන අතර 2007 වසරේ සිට තැපල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ බව සඳහන් කරන්න ඕන. 1963 වසරේ සිට ලංකා කම්කරු කොංග්‍රසයේ මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයට අනුබද්ධ
    වෘත්තීය සංගම් රැසක විවිධ තනතුරු දරමින් සෙල්ලසාමි මැතිතුමා වතු කම්කරු ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ බව අපි දන්නවා. ඒ වගේම එතුමා කොළඹ සෙනෙට් සභිකයෙකු ලෙසත් කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කවුන්සිලයේ විධායක සාමාජිකයෙකු ලෙසත් සේවයක් කළ ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. 2020 වසරේදී අභාවප්‍රාප්ත වන තෙක්ම සෙල්ලසාමි මැතිතුමා දීර්ඝ කාලයක් ජනතාව වෙනුවෙන් කටයුතු කළ බව මෙහිදී සඳහන් කළ යුතුයි.

    ගරු කථානායකතුමනි,
    1988 වසරේ පැවති දකුණු පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ජස්ටින් ගලප්පත්ති මැතිතුමා එම පළාත් සභාවේ පළාත් පාලන හා මහා මාර්ග ඇමතිවරයා ලෙස කටයුතු කළා. 2001 – 2003 කාලයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ එතුමා මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළා. මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය හා ගාල්ල රිච්ඩ්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙක්. වෙහෙර විහාරස්ථාන පාසැල් දහම් පාසල් හා ක්‍රීඩා සංවර්ධන කටයුතුවලදී ජස්ටින් ගලප්පත්ති මැතිතුමා කැපවීමෙන් ක්‍රියා කල බව අපි දන්නවා. 2019 වසරේදී අභාවයට පත් වන තෙක්ම එතුමා ජනතා සේවය වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya