අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවෙන් ආනයනය කොට මෙතෙක් වරායෙන් නිදහස් කර නොගත් සියළුම භාණ්ඩ නිදහස් කරදීමට සූදානම්

    මාර්තු 20, 2022

     

    ඉන්දියාවෙන් ආනයනය කොට මෙතෙක් වරායෙන් නිදහස් කර නොගත් සියළුම භාණ්ඩ නිදහස් කරදීමට සූදානම් බවත් කඩිනමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙසත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ( 19) වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි.

    ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර දැනට වරායෙන් නිදහස් කරගත නොහැකිව ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ, සිමෙන්ති, රෙදිපිළි, සත්ත්ව ආහාර, කර්මාන්ත සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය, විශේෂිත පොහොර වර්ග යන භාණ්ඩ නිදහස් කරගැනීම සම්බන්ධයෙන් තොරතුරු හැකි ඉක්මනින් පහත දුරකථන අංක වලට ලබා දෙන ලෙස වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටී. ඒ අනුව, ආනයනකරුගේ නම, භාණ්ඩය, ප්‍රමාණය හා ගෙවිය යුතු මුදල යන කරුණු සඳහන් කරමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව එය නිසිලෙස තහවුරු කරගැනීමෙන් පසු මුදල් අමාත්‍යාංශය විසින් මෙම භාණ්ඩ වරායෙන් මුදා හැරීමට කඩිනමින් කටයුතු සලසනු ලබන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.2022 වසර සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කිරීමේ පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉහත කී භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කළ පිරිස මෙන්ම, එකී භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපේක්ෂා කරන ආනයනකරුවන්ට ද http://www.trade.gov.lk යන වෙබ් අඩවියට පිවිස 2022.03.21 දින සිට 2022.03.28 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකි බවත්, සම්පූර්ණ කරන ලද අයදුම්පතේ දෘඩ පිටපත 2022.03.28 දින ප.ව.3.30ට හෝ ඊට පෙර අංක 492, ආර්.ඒ.ද මැල් මාවත, කොළඹ 03 ලිපිනයේ පිහිටි වෙළෙඳ අමාත්‍යාංශයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දීමට කටයුතු කළ යුතු බවයි.
    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, උත්සව සමය ඉලක්ක කරගත් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා සියළුම පාර්ශ්වයන් ඉදිරි උත්සව සමය තුළදී කටයුතු කරනු ලබන බැවින් අමුද්‍රව්‍ය ආනයනය හා උත්සව සමය ඉලක්ක කරගත් භාණ්ඩ ප්‍රමාණයන් ආනයනය කිරීම අප්‍රේල් මාසය වන විට ප්‍රතිශතයක් වශයෙන් අඩු වන බැවින් ඇමෙරිකානු ඩොලර් සඳහා පවතින ඉල්ලුම අඩු වන බවට ආර්ථික විශ්ලේෂකයන් පළ කර ඇති මතයන් අනුව ඉදිරි කාලයේ දී ඩොලරයක අගය අඩු වීමට ඉඩ ඇති බවයි. දේශපාලනයෙන් බැහැරව ආර්ථික විද්‍යාත්මකව හා තාක්ෂණික වශයෙන් ගත් කල රටක් වශයෙන් සිය ආදායම් වර්ධනය කරගැනීමට නම් සමස්ත රටම අපනයන සැකසුම් කලාපයක් බවට පත් කොට භාණ්ඩ විවිධාංගීකරණය, වෙළෙඳපොල විවිධාංගීකරණය මෙන්ම නවෝත්පාදනය හරහා අපනයන ආදායම් උපයා ගැනීමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya