අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කටයුතු සාර්ථකව කරගැනීමට අවශ්‍ය නිදහස ජනාධිපතිතුමා ලබාදුන්නා- අමාත්‍ය දිලුම් අමුණුගම

    මාර්තු 05, 2022

    වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ නව වැඩපිළිවෙළක් යටතේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත විෂය වෙන් කරමින් වගකීම් පැවරුණු අතර එම කටයුතු සාර්ථකව කරගැනීමට අවශ්‍ය නිදහස ජනාධිපතිතුමා ලබාදුන් බවත් එම තමාට පැවරුණු වගකීම නිවැරදිව හදුනා නොගෙන අසාර්ථක තත්වයට පත්වෙමින් ජනාධිපතිතුමාට රජයට සහ මුදල් අමාත්‍යවරයාට චෝදනා එල්ල කරමින් කටයුතු කිරීම නිසා රට තුළ අනවශ්‍ය ගැටලුකාරි තත්ත්වයක් ඇති කිරීමට මුල් වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

     විසඳුම් සෙවිය හැකි තාවකාලික අභියෝගකාරි තත්වයක් පවතින අවස්ථාවේ උදයගම්මන්පිළ අමාත්‍යවරයා මාධ්‍ය හරහා සිදුකළ ප්‍රකාශ තුළින් එම තත්වයන් තවදුරටත් වර්ධනය වූ බවද මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (4)දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදි අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අදහස් දක්වමින්,
    “පහුගිය දවසක පක්ෂ 12 ක් එකතුවෙලා සංවිධානය කරපු සම්මන්ත්‍රණයේදී ඉතාම නින්දිත ලෙස ආණ්ඩුව, ජනාධිපතිතුමාට, මුදල් ඇමතිවරයාට සහ ආණ්ඩුවේ ක්‍රියා කලාපයට තදබල ලෙස විවේචනය කරනවා සේම ඒ වැඩසටහන් හෙලා දකින තත්වයට පත් කරලා කතා කරනවා. මේ විවේචනය කරපු පිරිස් සමඟ මම ලගින්ම ඇසුරු කරපු සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වන විට ඒ වැඩපිළිවෙළ ආරම්භ කිරීම සඳහා මේ සියලු දෙනා දැවැන්ත දායකත්වයක් සැපයුවා. අපි ඔවුන්ට ගෞරවයේ අඩුවක් දැක්වුවේ නෑ. ඒ කණ්ඩායමත් එක්ක ඒකරාශිවෙලා කටයුතු කරලා අපි අද 2/3 බලයක ආණ්ඩුවක් හැටියට කටයුතු කරනවා. ඒ අය කරපු දේවල් පිළිබඳව කිසිම ගෞරවයේ අඩුවක් කරන්නේ නෑ. නමුත් ඒ ගෞරවය වෙනුවෙන් ආණ්ඩුවට, ජනාධිපතිතුමාට, මුදල් ඇමතිවරයාට සහ සමස්ථ ක්‍රියාවලියට ආණ්ඩුවේ ඇතුලේ සිට අමාත්‍ය ධූරවල ඉඳගෙන පහර දෙනවානම් එහි න්‍යායක් නෑ ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නෑ කියන කාරණය. ඒ නිසා ජනාධිපතිතුමා විසින් ගනු ලැබු තීරණය ප්‍රතිපත්තිමය තීන්දුවක්. ආණ්ඩුවේ ඇතුලේ නොසිටින මට්ටමේ ඉඳගෙන තද බල ලෙස ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරනවා නම් ඒ අය ඉවත් කිරීමට ප්‍රධාන තීන්දුව වූණේ ඒ අය කරපු කැප කිරීමේ අඩුවක් නිසා නොව ආණ්ඩුවේ සිට තනතුරු දරමින් ආණ්ඩුව විවේවචනය කිරීම නිසායි. රට අර්බුදයක් තිබෙන වෙලාවක රැල්ලට ගිහින් ආණ්ඩුව ප්‍රහාර ගැසීම නම් ඔවුන් අමාත්‍යධුර දරන එක නොකල යුතුයි. මෙය තමයි ප්‍රධාන සිදුවීම වෙලා තිබෙන්නේ. ජනාධිපතිතුමා මැති ඇමතිවරු යම් යම් ප්‍රශ්නවලට මැදිහත් වෙච්ච වෙලාවෙදි ඒ අය පවා ඉවත් කිරීමට කටයුතු කලා.

    අද රජයට සහ රටට අමාරු වෙලාවක්. රටේ ප්‍රශ්න තිබෙන අවස්ථාවක ජනතාව පිඩාවට පත්වෙලා තිබෙන අවස්ථාවක ජනතාවගේ පිඩාව තව වැඩි කරලා එයින් රැල්ලක් ඇති කරලා ඒ රැල්ල හරහා පෙරලා ආණ්ඩුවට ගැසීම නම් එය වැරදි ක්‍රියාවක් කියන්න ඕන. ඒ වගේම පොහොර සම්බන්ධව ප්‍රශ්නයේදී අතුරුලියේ රතන හාමුදුරුවෝ තමයි පාර්ලිමේන්තුවේ කතා කරලා මේ කාබනික වගාව දක්වා මේ කටයුත්ත ගෙනාවේ. නමුත් ප්‍රශ්නයක් වුණාම පැනලා යනවා. අනිත් පිරිසුත් ආණ්ඩුවක් කරන්න ගිහින් ප්‍රශ්නයක් වුණාම පැනලා යනවා. මේ නිසා තමයි ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නට හේතුව වනුයේ. ”

     

    එහිදි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අදහස් දක්වමින්,


    “පහුගිය දින කිහිපයේ විවිධ අභියෝග මධ්‍යයේ ජනතාව ඉතාමත් අපහසුතාවයට පත් වුණා මේ රටේ විදුලි අර්බුදය සහ බලශක්ති අර්බුදය කියන දෙක මත ජනතාවට විවිධ පිඩාවන්වලට මුහුණ දෙන්න සිදු වුණා. මේ පිඩාවන්වලට නොයෙක් පුද්ගලයින්ගේ වැඩපිළීවෙලයන්, එවුන් ක්‍රියාකරන ආකාරය හේතු වුණා කියන සැකයත් මට තිබෙනවා.

    අපි බිහි කරපු ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේ සන්ධාන ඇතුලේ විවිධ පක්ෂ තිබෙනවා, විවිධ මත දරන පුද්ගලයින් ඉන්නවා. ඒ ආණ්ඩුව බිහි කිරීමේදි නොයෙකුත් පුද්ගලයින්ගේ උපදෙස් සහ යෝජනා අරගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටට සෞභාග්‍යයේ ඉදිරි දැක්ම කියන ප්‍රත්තිමය වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ. ඒ රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේදී විමල් වීරවංශ ඇමතිතුමා, උදය ගම්මන්පිළ ඇමතිතුමා ඇතුළු පිරිස් දායකත්වය දක්වපු පිරිස්. නමුත් පෙරේදා දවසේ සිදුවූ සිද්ධිය දෙස බලද්දි ආණ්ඩුවට යෝජනා අදහස් දෙනවා වෙනුවට අපි දැක්කේ මේ තිබෙන තාවකාලික අර්බුදවලට විසඳුමක් වෙනුවට ඊලඟ මැතිවරණයක් ඉලක්ක කර ගත්ත නැතිනම් දේශපාලන ව්‍යාපරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් රටට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හැටියටයි. අප කනගාටු වෙනවා මේ ආණ්ඩුව බලයට පත් කරනන් විශාල කැපවීමක් කරපු , අපිත් එක්ක එකට අත්වැල් බැඳගෙන කටයුතු කරපු ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කිරීම කාරණය සතුටු වෙන්න පුළුවන් කාරණයක් නොව. අපි කණගාටු වෙනවා. නමුත් අපිත් විශ්වාස කරනවා පහුගිය කාලයේ සිදුවීම් තුළ යම් යම් දේශපාලන අරමුණු , යම් යම් පුද්ගලයන්ගේ ඉලක්කයන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ඔවුන්ව භාවිතා කළාද කියලා සැකයක් තිබෙනවා.

    මොවුන්ගේ කතා තුළ රටේ මේ ඇතිවෙලා තිබෙන තාවකාලික අර්බුදවලට කෙටිකාලීන විසඳුම් මොනවාද කියන එක ඉදිරිපත් කරනවා වෙනුවට මුදල් අමාත්‍යවරයාට, ආණ්ඩුවේ විවිධ තීන්දු තීරණවලට අභියෝගයට ලක්කරමින් කතා කිරීම තමයි අපි දැක්කේ. ධීවර කර්මාන්තය වෙනුවෙන් යෝජනාවලින් පේනවා මේ උදවිය මේ යෝජනා ඉදිරිපත් කරලා තිබෙන්නේ ආණ්ඩුව දැනට කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳවත් අවබෝධයක් නැතිව බව. ජනාධිපතිතුමා මෙය තනියම ගත්ත තීන්දුවක් හැටියට නොවේ අපි දකින්නේ. ආණ්ඩුවේ සියලු දෙනාගේ එක මතය වුණේ මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න නම් ආණ්ඩුව එක මතයක් තිබිය යුතුයි කියලා. ඒ වගේම තමන්ට තිබෙන පවරලා තිබෙන වගකීම් සිදු කරන්නේ නැත්නම් ඒ සඳහා වැඩ කරන්න පුළුවන් පුද්ගලයින් වෙනුවෙන් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කල යුතුයි කියලා.

    පහුගිය කාලයේ උදයගම්මන්පිළ ඇමතිතුමා එතුමාගේ ක්‍රියාකලාපය තුළ අපි දැක්කේ අමාත්‍යවරයෙකුගේ කාර්ය භාර්යට වැඩිය වෘත්තිය සමිති නායකයෙකුගේ කාර්යභාර්යයි. පහුගිය සති කිහිපය තුළ විශේෂයෙන් බලශක්ති අමාත්‍යවරයා මාධ්‍යට ඇවිත් තෙල් තිබෙන්නේ දින කිහිපයයි මේ රටේ තිබෙන්නේ කියලා ප්‍රකාශයට පත් කළා. එයින් මේ රටේ ජනතාව තුළ ඇතිවෙන නොසන්සුන්තාවය නිසා මේ රටේ තදබදයක් මේ ඉන්ධන පිරහුම් ආශ්‍රිතව සිදුවුණා අපි දැක්කා. බලශක්ති අමාත්‍යවරයා රජයේ කැබිනට් මණ්ඩලයේ කතා කල යුතු දෙයක් මාධ්‍යට ඇවිත් කිව්වාම ජනතාව එයට ක්‍රියා කරන්න කටයුතු කරනවා. ඒ නිසා මේ තිබුණු අභියෝගය අර්බුදයක් බවට පත් කරගන්න කටයුතු කළා කියන එක තමයි අපිට පේන්නේ.

    අතිගරු ජනාධිපතිතුමා අඛණ්ඩව විදුලිය 05 වන දා සිට ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා. ඒ අවශ්‍යතාවය සඳහා මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඒ අවශ්‍ය සහතිකය දුන්නා. පහුගිය දින කිහිපය ඇතිවෙච්ච අර්බුදය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ඉතාමත් අඛණ්ඩව ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන බෙදා හැරීමේ සහ විදුලිය ලබා දීමේ ක්‍රියාවලියත් වෙනුවෙන් ආණ්ඩුව සහතිකයක් ලබාදිලා තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය තදබදයක් ඇති නොකරගෙන ජනතාව ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

    පහුගිය කාලයේ සමහර අමාත්‍යවරුන්, සමහර නියෝජිතයින් තමන්ට පැවරුණු වගකීම පවා ඉටු කරගන්න නොහැකි තත්වයට පත් වුණා. අපි බලාපොරොත්තු වුණා පහුගිය කාලයේ මේ වගකීම් ලබාදීපූ සියලු දෙනා ඒ වගකීම් ඉටු කරයි කියලා. අපි කිසිසේත් හිතන්නේ නෑ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගිහින් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන හිටපු අමාත්‍යවරු බවට පත්වෙයි කියලා. අපි තාමත් කැමති ඔවුන් ආණ්ඩුව නියෝජනය කරන ඒ පාර්ශව කරුවන් හැටියට කටයුතු කරන්න. අපි කණගාටු වෙනවා ඔවුන්ගේ ක්‍රියාකලාපයන්, විශේෂයෙන්ම පුද්ගලයන් ඉලක්ක කරගෙන ඒ කරපු විවිචෙනය තුළ මුළු රටකටම ඒ අභියෝග අර්බුද නිර්මාණය කිරීම සඳහා වටපිටාවක් නිර්මාණය කිරීම පිළිබඳව අපි කණගාටු වෙනවා.

    අභියෝගාත්මක කාලයක පහුගිය කාලයේ යම් වැඩපිළීවෙළක් ක්‍රියාත්මක කලා. යම් යම් අර්බුදවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලෝකයේ තෙල්, ගෑස් අපි නිෂ්පාදනය කරන දේවල් නොවේ. නමුත් ඒවාත් යම්කිසි ආකාරයකින් ජනතාවට පිඩනය අවම කරමින් ඒ කටයුත්ත අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපිට පුළුවන් වුණා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ඉදිරිපත් කරපු වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya