මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය භාණ්ඩාගාරයට අයවියයුතු රාජ්‍යභාග නිසිපරිදි ගෙවන්න - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට කෝප් කමිටුවෙන් උපදෙස්

    පෙබරවාරි 25, 2022

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බවත්, එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ එයට සම්බන්ධ ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික) සමාගම (23) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.

    ඒ අනුව 2016 සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය විසින් රාජ්‍යභාග නිසි පරිදි එක්රැස් කොට තිබුණද රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිය යුතු ප්‍රමාණය සම්ප්‍රේෂණය නොකොට කාර්යාංශයට අයත් ස්ථාවර ගිණුම්වල තැන්පත් කොට තිබීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡා කෙරිණි.
    ඒ අනුව 2016 වර්ෂයේ සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය තුළ එකතු වූ රාජ්‍යභාග ප්‍රමාණය රුපියල් 16,591,075,088ක් වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් 8,520,235,812ක් පමණි. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා දන්වා සිටියේ රාජ්‍යභාග නිසි පරිදි රාජ්‍යට ලැබිය යුතු බවයි.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුමත කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවාගෙන ඇති ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික)සමාගමට අයත් සේවකයන් වෙත කාර්යාංශය මගින් වැටුප් ගෙවීම සම්බන්ධවද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිණි. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උප‍දෙස් ලබා දුන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා කාර්යාංශයට සේවක අඩුපාඩුවක් පවතින්නේ නම් එය කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව වෙත දන්වා අදාළ අනුමැතිය සහිතව සපුරා ගන්නා ලෙසයි.

    එමෙන්ම 2019 සැප්තැම්බර් 19 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/2019 ට අනුව කාර්යාංශයේ තාවකාලික, අනියම්, දෛනික,ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව පුළුල් කිරීමෙකින් තොරව, සේවකයන් ස්ථිර කිරිමේ හැකියාව ඇතැයි යන පදනම මත සේවකයන් 189 දෙනෙක් ස්ථිර කිරීම සම්බන්ධවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී කෝප් කමිටුව කාර්යාංශයේ සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරීවරයාට නිර්දේශ කළේ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා සිය සේවක අවශ්‍යතාවය පිළිබඳ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව නැවත දැනුවත් කර නිසි ක්‍රමවේදයට අනුකූලව අදාල ගැටලුව විසඳා ගන්නා ලෙසයි.

    කාර්යාංශය විසින් රුපියල් 2,581,633ක් ගෙවා සකස් කරවාගත් සංයුක්ත සැලැස්ම අනුව 2019 – 2023 වර්ෂ සඳහා පිළියෙල කරන ලද ක්‍රියාකාරී සැලැස්ම නිසි පරිදි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට මෙතෙක් යොමු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු විය. කාර්යාංශ නිලධාරීන් සඳහන් කළේ ක්‍රියාකාරී සැලැස්ම මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි. පසුගිය කාල වකවානුව තුළ කාර්යාංශය විසින් විගණන කමිටු රැස්වීම් පැවැත්වීම අවම වීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු වූ අතර, විගණන රැස්වීම් නිසි පරිදි පැවැත්විය යුතු බවටද කමිටුව අවධාරණය කළේය.

    2019 සැප්තැම්බර් 18 දින භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට අදාළව පැවති කෝප් කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සම්බන්ධවද කොප් සභාපතිවරයාගේ අවධානය යොමුවිය. මෙහිදී කමිටු සාමාජික මන්ත්‍රීවරයන් විසින් අවධාරණය කරන ලද්දේ එසේ කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම අනිවාර්ය බවයි.

    මෙම තත්ත්වය මත කෝප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශක්තිමත් පිළිතුරක් ලබා දීමට නොහැකිවීම හේතුවෙන් මෙම විමර්ශනය මසකින් කල්තැබූ අතර, එනම් මසකට පසු ඉහත ආයතන ද්විත්වය නැවත කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබේ. එයට අමතරව නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව සභාගත කිරිම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්ගේ අනුමැතියට ඉදිරිපත් කෙරිණි. පළමු සභාවාරයේ තුන්වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර එය 25වැනිදා සභාගත කිරීමට කමිටු සාමාජික මන්ත්‍රීවයන්ගේ එකඟතාවය හිමි විය.

    මෙම රැස්වීමට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, නාලක ගොඩහේවා, සමාජික මන්ත්‍රීවරයන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජගත් පුෂ්පකුමාර, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, නලීන් බණ්ඩාර, මධුර විතානගේ, ප්‍රෙම්නාත් සී දොලවත්ත සහ ශානක්කියන් රාසමානික්කම් යන මහත්වරු සහභාගී වූ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිරීක්ෂණ මට්ටමින් සහභාගී විය. පරිසර අමාත්‍යාශයේ ලේකම්වරයා, භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහ සම්බන්ධ ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික)සමාගමේ නිලධාරිහු පිරිසක්ද කෝප් රැස්වීමට සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya