මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයක් කරන්නේ නෑ”- සෞඛ්‍ය ඇමති

    පෙබරවාරි 15, 2022

    “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයක් කරන්නේ නෑ” බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම් කරමින් සෞඛ්‍ය ඇමති කියයි.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයකට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ගෝලීය ව්‍යසනය මැද විවිධ අපහසුතා ඔස්සේ ඔවුන් සිදුකළ අසීමාන්තික කැපකිරීම කිසිදු අයුරකින් අවතක්සේරුවට ලක් කිරීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.ලොව ඇතැම් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල ව්‍යසනය මැද එය මගහැර පලායද්දී මෙරට සෞඛ්‍ය සේවාවේ සියලු දෙනා කළ කැපකිරීම ඉහළම ඇගයීමට ලක්වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

    ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ කීර්තිමත්ම වෛද්‍යවරයෙකු ,වෛද්‍ය වෘත්තිකයකු ලෙසින් මෙරට ජනතාවගේ හදවත් තුළ නොමැකෙන නාමයක් තැබූ මහාචාර්ය සේනක බිබිලේ මහතා ඖෂධ මාෆියාවට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දිවි පරදුවට තබා අභියෝගාත්මක වැඩපිළිවෙළක් ගෙන ගිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පරමාදර්ශී චරිතයකි.සාධාරණ මිලකට ගුණාත්මක තාවයෙන් ඉහළ ඖෂධ ඒවායේ වෙළෙඳ නාමයෙන් නොව ඖෂධ නාමයන්ගෙන් ලබාදීම "බිබිලේ" ප්‍රතිපත්තියේ මූලික හරයයි.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වටිනාකම යොදාගනිමින් එය අයුතු ලෙස පාවිච්චි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරන්නේනම් එයට එරෙහිව ක්‍රියාත්මක වන්නටද පසුබට නොවන බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.

    මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “ සේනක බිබිලේ කියන නම කියවෙන කොට ඔහු ජාතික නොවෙයි ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක් වුණු තවත් පැත්තකින් දැඩි අවධානයට ලක් වෙච්ච චරිතයක් බවට පෙන්වා දිය හැකියි. අද පිළිරුවක් විවෘත කර මල් මාලාවක් දාමා උත්සවයක් කෙරෙුණා හැබැයි මේ උත්සවය අර්ථවත් වෙන්නට නම් එයින් පසුව මෙහි වෙනසක් දකින්නට ඕනෑ. වෙනසක් පමණක් නොවෙයි ඒ නමට ගරුත්වයක්, ඉදිරි දැක්මක් සමග වැඩපිළිවෙළක් මෙයට බද්ධ වී තිබිය යුතුයි .

    ඔහු රටට දායක කරපු දේවල් එක්ක සැබෑ යුග පුරුෂයෙකි. මම හිතෙනවා අපි කවුරුත් වැඩිය කතා නොකළාට සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කලා. ලෝකයේ තිබෙනවා ප්‍රධාන ඖෂධ කර්මාන්ත හයක්. ඒ කර්මාන්ත සමහර රටවල රාජ්‍ය නායකයින් පවා වෙනස් කරනවා. එහෙම හයියක්, එහෙම පසුබිමක් ඒවාට තිබෙනවා. මට මතකයි එක අවස්ථාවක මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අදහස් ක්‍රියාත්මක කරන්නට රේණුකා හේරත් සෞඛ්‍ය අමාත්‍යවරිය උත්සාහයක යෙදුණා. සති දෙකයි ඒක කරන්නට පුළුවන් වුණේ. එවකට හිටපු ප්‍රේමදාස ජනාධිපතිවරයාට දැනුම් දුන්නා ලෝක බැංකුවෙන් සහ අනෙකුත්

    ලංකාවට ආධාර දෙන රටවලින් වහාම එම වැඩපිළිවෙළ නතර කරන්න කියා. එසේ නොවුණොත් දෙන ආධාර නතර කරන්න සිද්ධ වෙනවා කියලා කීවා. මොනතරම් බලගතුද මේ බලවේගයන්. ඒ බලවේගයන් තුළ උඩුගම් බලා පීනපු යුග පුරුෂයෙක් හැටියටයි අපි එතුමාව දකින්නේ. අද අපි එහි ප්‍රතිඵල දකිනවා මම සතුටු වෙනවා විශේෂයෙන්ම සෞභාග්‍යයේ දැක්ම තුළ පැහැදිලිව ලිඛිතව සඳහන් කර තිබෙන දෙයක් තමයි 2030 වන මේ රටට අවශ්‍ය ඖෂධ සියයට අසූවක් අප රට තුළම නිෂ්පාදනය කරන්නටත්, එය මහාචාර්ය සේනක බිබිලේ මහතා ගෙන ආ ප්‍රතිපත්තිය තුළ සිට ක්‍රියාත්මක කරන්නටත්, වැඩපිළිවෙළක් සකස් කෙරුණා. මේ වෙනකොට එම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. හොරණ විශාල ආයතන කිහිපයක් ආරම්භ කළා. ඔයාමඩුවේ මේ වන විට කර්මාන්ත ගණනාවක් ආරම්භ කරමින් පවතිනවා.

    අපි මේ අවස්ථාවේ ආර්ථික ප්‍රශ්න ගණනාවකට මැදිවෙලා ඉන්න අවස්ථාවක්. ලෝකයේ මෙන්ම අපේ ඉතිහාසය තුළ අපි දැඩිව පීඩනයට ලක් වුණු යුගයක් ලෙස මේ යුගය හැඳින්විය හැකියි. ලෝකයේ පළමු වතාවට සමස්ත ආර්ථිකය ඝෘණ බවට පත්වුණා. බලවත් සුපිරි ආර්ථිකයන් පැවති රටවල් වල තත්වය පවා වෙනස් වුණා. විදුලි බිල සියයට 30කින් මේ වන විට වැඩි වෙලා තිබෙනවා. ඉන්ධන මිල සියයට 40කින් 45 කින් වැඩි වෙලා තිබෙනවා. අනෙකුත් ඒවත් ඊට සමාන්තරව වැඩිවෙලා. මුළු ලෝකයම ආර්ථික වශයෙන් හිර වෙලා තිබෙනවා.

    අපි දැක්කා කොවිඩ් වසංගත තත්ත්වය තුළ ලෝකයේ බලවත් රටවල වෛද්‍යවරුන් ,හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයෙන් බැහැර වුණා. මේ අවදානම ගන්න බැහැ කියලා. හැබැයි අපි ආඩම්බර වෙනවා අපේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වා කිසිම අවස්ථාවක අපිට අහන්න ලැබුණේ නැහැ සේවයෙන් බැහැර වෙලා සේවය අත්හැර ගියා කියලා. යම්කිසි අවස්ථාවක මුව ආවරණය , වෛරසයෙන් ආරක්ෂා විය යුතු ඇඳුම් තිබුණේ නැහැ. ඒ සියල්ල පැත්තක තබා ඔවුන් ඔවුන්ගේ ජීවිත පමණක් නොවේ නිවෙස්වල දූ දරුවන් වැඩිහිටියන් ,දෙමව්පියන් සියලු දෙනාගේ ජීවිත අවදානම් තත්ත්වයක් තුළ රාජකාරි කළා. එක්ලක්ෂ පනස්දාහක් පමණ ඉන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු කණ්ඩායම් එකාමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපිට ලෝකයේ තුන්වන ,දෙවන තැනට එන්නත්කරණයෙන් එන්නට පුළුවන් වුණේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළ බූස්ටර් එන්නත් වැඩපිළිවෙළ සාර්ථක කරගනිමින් නියමිත ඉලක්ක කරා යෑමට “

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, බිබිල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි නෙළුම් සමරුතිලක , මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya