මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති උපදෙස්- ජනතා අවශ්‍යතාව අනුව සියක් නගර සංවර්ධන වැඩසටහන රටපුරා

    දෙසැම්බර් 30, 2021

    වසර ගණනාවක් තිස්සේ කිසිඳු සංවර්ධනයකට ලක් නොවූ ප්‍රදේශ හා නගර ඉලක්ක කරගෙන සියක් නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    මේ අනුව දුෂ්කර ප්‍රදේශවල ගම් සහ නගර සංවර්ධනය කිරීම සියක් නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැතිතුමා උපදෙස් ලබා දී තිබෙන්නේ ජනතා අවශ්‍යතාවයන් හඳුනාගෙන නගර සංවර්ධන කටයුතු සිදු කරන ලෙසටයි.

    ඒ අනුව ජනතාවගේ අවශ්‍යතා අනුව සියක් නගර වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නගර සියයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ජනතාවට ලබාදුන් පොරොන්දුවකි. ඒ අනුව, නගර සියය තෝරාගත් අතර, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලැබුණු ජනතා ඉල්ලීම් මත තවත් නගර කිහිපයක් ද තෝරාගෙන සංවර්ධනයට ලක්කෙරෙමින් පවතී.


    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංවර්ධනය කෙරෙන සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    සියක් නගර යනු හදුනාගත් ජන අවශ්‍යතාවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහනකි. එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාවට නංවයි.

    රජය ජනතාවට ලබාදෙන ප්‍රබල ප්‍රතිලාභ අතරේ එන එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වන “සියක් නගර” සංවර්ධන වැඩ සටහනට අයත්, පුත්තලම් දිස්ත්‍රික්කයේ මාදම්පේ සහ තෝප්පුව නගරත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුරය නගරයත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර නගරයත් මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ අවසන් කෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

    මෙම ව්‍යාපෘති අතරින් හලාවත මාදම්පේ සතිපොළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී තිබේ. හලාවත ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක මෙම සතිපොළ ඉදිකර තිබෙන්නේ පැවති සතිපොළ සංවර්ධනය කර නව අංග එකතුකර පුළුල් කිරීමෙන් පසුවයි.

    වෙළෙදුන් 100 කට වෙළදාම් කිරීමට ඉඩකඩ සපයා තිබූ පැරණි සතිපොළ, නව සංවර්ධනයත් සමඟ වෙළෙදුන් 160 කට වෙළදාම සඳහා මෙහි පහසුකම් සැලසී තිබේ. එයට අමතරව මත්ස්‍ය වෙළඳසැල් 08 කට ද මෙහි ඉඩකඩ සපයා තිබේ.

    මාදම්පේ සතිපොළ සෑම සඳුදා දිනකම පෙ.ව. 7.00 ට පමණ ඇරඹෙයි. එය මධ්‍යම රාත්‍රී 12 අළුයම 01.00 දක්වා පැවැත්වේ. මෙම සතිපොළට ස්ථාවර වෙළෙදුන් 160 දෙනාට අමතරව, විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් වෙළඳාම් කිරීම සඳහා වෙළදුන් 400 දෙනෙකු පමණ පැමිණෙයි. සතිපොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා 1,000 ත් 1,500 ත් අතර නිත්‍ය පාරිභෝගිකයින් සංඛ්‍යාවක් පැමිණෙයි. මෙම සතිපොළේ දක්නට ලැබෙන විශේෂත්වය වනුයේ එළවළු සහ පලතුරුවලට අමතරව විවිධ විසිතුරු බඩු, රෙදිපිළි සහ රස කැවිලි වර්ග වැනි දෑ අලෙවි වීමයි.

    මාදම්පේ සතිපොළට හලාවත, තඹුත්තේගම, ගල්ගමුව, දළදාගම, අඹන්පොල, නිකවැරටිය, ඇහැටුවැව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නියෝජනය කරමින් වෙළදුන් සහ පාරිභෝගිකයින් පැමිණෙයි. එම ප්‍රදේශයන් තුළ වගා කෙරෙන එළවළු වර්ග මෙන් ම පිට පළාත්වලින් ගෙන්වනු ලබන එළවළු වර්ග ද මෙහි අලෙවි කෙරේ. මාදම්පේ සතිපොළේ ප්‍රධාන එළවළු ගැනුම්කරුවා ලෙස කටයුතු කරන්නේ කොළඹ මැනිං වෙළඳපොලයි. එයට අමතරව අලුතින් එක් වූ පහසුකම් අතරට වැසිකිලි පද්ධතිය, ආරක්ෂක කුටිය, ජල ටැංකිය, ආපනශාලාව සහ වාහන 30 ක් නවතාලිය හැකි රථගාල ද ඇතුළත්ව තිබේ. මෙම සතිපොළ ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 67 ක් වේ. මාස 05 ක් හෙවත් දින 150 ක කාලයකින් මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත.

    මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ තෝප්පුව සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතියි. මෙම ව්‍යාපෘතිය තුළ පදික මංතීරු සැකසීම, තණ පිඩලි ඇල්ලීම, මල් පැළ සිටුවීම, පාර දෙපස පස් පිරවීම, ඔරලෝසු කණුව වර්ණ ගැන්වීම, පෙර පැවති පැරණි පුන්කලස නැවත නගරයේ ස්ථාපිත කිරීම ඇතුළු තවත් සංවර්ධන වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක වෙයි.

    මූලික ජන අවශ්‍යතාවන් සපුරාලිමේ අරමුණ පෙරදැරිව සංවර්ධනය කෙරෙන සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළමුව දිස්ත්‍රික් 25 තුළට ම සැලසුම් කළ ව්‍යාපෘති 30 ක වැඩ කටයුතු කඩිනමින් නිමවා ජනතා අයිතියට පත්කිරීම රජයේ අපේක්ෂාව බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

    මේ සඳහා ව්‍යාපෘති තෝරාගැනීමේදී එම නගරයන්ට මෙතෙක් ප්‍රධාන අඩුවක්ව පැවති අංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, කඩිනම් අවශ්‍යතා සහිත ව්‍යාපෘති තෝරාගැනීම මෙහිදී අවධානය යොමුකර තිබීම ගැන එම ප්‍රදේශයේ ජනතාව සිය ප්‍රසාදය පළ කරති.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya