මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණය ඇරඹේ - අගමැති ජපානයට තුති පුදයි

    දෙසැම්බර් 29, 2021

    සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය ක්‍රියාත්මක කරන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විනි.

    ලොව පුරා රුපවාහිනී විකාශන පද්ධතිය මේ වනවිට වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී.

    මෙම ප්‍රවණතාවයට අනුගත නොවුනහොත් වර්තමානයේ නවීන තාක්ෂණය යල් පැන ගිය රටක් වීම නොවැළැක්විය හැක කරුණක් වනු ඇත. මෙම අභියෝගයන් ජයගැනීම උදෙසාත්, නාස්තිය පිටුදැක කාර්යක්ෂමතාව නැංවීම උදෙසාත් රුපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සැළසුම්කොට තිබේ. මෙමඟින් ඩිජිටල් භෞමික රුපවාහිනී විකාශනය වෙත සංක්‍රමණය වීමෙන් නරඹන්නන්, විකාෂකයින් සහ රජය යන පාර්ශ්ව තුනටම ප්‍රතිලාභ ඇරඹේ.

    ඒ අනුව, මීට දශකයකට එපිට එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘති ආරම්භය සිදු කරන ලද නමුත් පසුගිය රජය සමයේ අක්‍රියව පැවති මෙම ව්‍යාපෘතිය, නැවත සක්‍රීය කිරීමට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය ඉවහල් වී තිබේ.

    මෙම අවස්ථාවට මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජපාන රජයට ස්තුති කර සිටි අතර මෙමඟින් ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයින්ට HD තාක්ෂණය පිළිබඳ අත්දැකීම විඳීමට හැකි වනු ඇති බවත්, 2023 වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් විකාශනය ආරම්භ වන අතර 2025 වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රකාශ කළේය.

    එමෙන්ම, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ; නූතන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට අත්‍යවශ්‍යම පරිවතනයක් වූ මෙම රුපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ජපානයට නොදී වෙනත් රටවලට ලබා දීම හා එම රටවල තාක්ෂණය යොදාගැනීමට තීරණය වුවත්, ආසියාවේ දැවැන්තයෙකු මෙන්ම එහි අතිසාර්තකත්වයක් ළඟා කරගත් ජපානයේ ප්‍රමුඛ ආයතනයක් වන ජයිකා ආයතනය මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමන් ඉතාමත් සතුටු වන බවයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව වැනි අදායම් තත්ත්වයක් ඇති සියලුම රටවල් මෙම පරිවර්තනයට ලක් වී ඇති බවත්, එහෙත් මෙම පරිවර්තනය සිදුව තිබුණේ මිට දශකයකට පෙර බවත්, නමුත් එම ඉතිහාසයට ඇඟිල්ල දිගු කරන්නේ ද නොමැති බව හෙතෙම කියා සිටින ලදුව, 2025 දෙසැම්බර් අවසාන වන විට සාර්ථකව මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

    අභියෝගාත්මක කාල පරිච්චේදයක් තුළ වුව ද මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ලැබීම යුගයේ ධනාත්මක සිදු වීමක් ලෙස තමන් දකින බව නමුත් එය මේ මොහොතේ අත්‍යවශ්‍යම කරුණක් නොවන්නට පිළිවන් බව ඇතැමුන් පැවසිය හැකි නමුදු දීර්ඝ කාලින ප්‍රතිලාභයක් වෙනුවෙන් තැබූ මුල් පියවර අභියෝග මැද වුවද සිදු කරන බවත්, කියා සිටි අමාත්‍යවරයා, වසර කිහිපයකින් සිදුවන ඩිජිටල් පරිවර්තනයට සමගාමිව එයට වඩාත් සුදුසු අන්තර්ගතයක් නිර්මාණය කිරීමට, නවෝත්පාදනය කිරීමට, දැන් සිටම සැළසුම් ආරම්භ කරන ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් හෙතෙම ඉල්ලා සිටියේය.

    ඒ අනුව, දියුණු තාක්ෂණය අත්පත් කරගන්නා සේම එම දියුණු තාක්ෂණය තුළ සීලාචාර කම, වැදගත් කම සහ වගකීම් සහගත බව,ගුණාත්මකභාවය සහ යහපත් මාධ්‍ය භාවිතාවක් රැකගෙන හා ප්‍රකාශන නිදහස ද රැකගෙන නිර්මාණ සහ අන්තර්ගතයන් බිහිකිරීමට තමන් සහතික වන බවත් ඩලස් අලහප්පෙරුම මහතා විසින් වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම අවස්ථාවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය අනුර යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර, ජපන් තානාපති මිෂිගොෂි හිඩෙකි, JAICA නියෝජනය කරමින් පැමිණි නියෝජිතවරුන් සහ විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂධ සේනානායක, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya