මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවකු අගනා පුරවැසියෙකු බවට පත්කොට විශිෂ්ඨ මානව ප්‍රාග්ධනයක් බිහි කළ හැක්කේ ගුරුවරුන්ට පමණයි - ජනමාධ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 23, 2021

    දරුවකු තුළින් අගනා පුරවැසියකු නිර්මාණය කරමින් රටේ අනාගතයට විශිෂ්ඨ මානව ප්‍රාග්ධනයක් දායාද කළ හැක්කේ ගුරුවරුන්ට පමණක් බවත් එවැනි අද්වීතීය කාර්ය භාරයක් ඉටුකරන සමස්ත ගුරු ප්‍රජාවට තමන් ශීර්ෂ
    ප්‍රණාමය පුද කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

    අද (23) මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුරු භවතුන්ට උපහාර පිදීමේ හා පාසල් මාධ්‍ය කවයේ සාමාජිත දරුවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරු දැරියෝ අඛණ්ඩව වසර 03 ක් ජාතික මට්ටමින් ඉතා ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වී සිටිති. 2018, 2019, 2020 වසර වල විභාගයට මුහුණ දුන් සියලු සිසුන් ඉන් සමත් වී ඇති අතර, 2020 වසරේදී ඔවුන් “A-9” සාමාර්ථ 52 ක් “A-8” සාමාර්ථ 50 ක්, “A-7” සාමාර්ථ 44 ක් වශයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා තිබේ. මෙම විශිෂ්ට සාමාර්ථයන් දරුවන්ට ලබාදීමට කැප වී වැඩ කළ ගුරු භවතුන් 108 දෙනෙකු වෙත අද උපහාර පුද කෙරිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා;
    “අද මම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුරුවරුන් 137 දෙනා සංකේතවත් කරගෙන ලෝකයේ සමස්ත ගුරුවරුන් වෙත ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා. මැණිකක් කපා ඔප දමන්නාක් මෙන් දරුවකුගේ සහජ දක්ෂතා ඉස්මතු කරමින් ඔහුට දැනුම ලබා දී විශිෂ්ඨ පුරවැසියකු නිර්මාණය කිරීමේ කාර්යය සිදු කරන්නේ ගුරුවරයායි. රටකට අවශ්‍ය මානව ප්‍රාග්ධනය බිහිවන්නේ එමගින්. දේශපාලනඥයින්ට, නිලධාරීන්ට හෝ දෙමව්පියන්ට ගුරුවරයාගේ දායකත්වය නැතිව මෙම කාර්යය සිදු කරන්නට බැහැ.

    අප මේ වන විට දැනුම හා දත්ත මත තීරණ ගන්නා යුගයකට අවතීර්ණ වී සිටිනවා. ලෝකයේ අද වන විට වැඩිම වටිනාකම හිමි ව ඇත්තේ දත්තවලටයි. ලෝකයේ දැනුම ඉතා වේගයෙන් පුළුල් වෙනවා. ලොව දියුණුව පිළිබඳව අවධානය දක්වන ජාතියකට, පාලකයින්ට මෙන්ම ගුරුවරුන්ට අභියෝගය වන්නේ වෙනස් වන දැනුම මානවවාදී ලෙස කළමනාකරණය කරගන්නේ කෙසේද යන්නයි. සාක්ෂරතාවයෙන් ඉහළ වූ පමණින් අද පවත්නා දැනුම කළමනාකරණය කළ නොහැකියි. නව විභාග ක්‍රම, නව ඉගැන්වීමේ ක්‍රම, නව දැනුම් පද්ධති හඳුන්වාදෙමින් දරුවාට දැනුම උකහා ගැනීම පහසුවන ආකාරයේ පරිවර්තනයක් සිදු කළ යුතුයි. දරුවන් නිවැරදි ප්‍රශ්න කිරීම් වලට යොමු කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති විය යුතුයි.”

    2013 වසරේ පෙබරවාරි මාසයේ 17 වන දින මෙම පාසැල ගොඩනැගීමේ ආරම්භක පියවර ගත් බවත් අභියෝග රැසක් මැද මේ සඳහා කැප වී කටයුතු කළ ආකාරයත් මෙහිදී අමාත්‍යවරයා සිහිපත් කළේය. පාසලේ දියුණුව පිණීස 2013 ජාතික සංවර්ධන සැලැස්මට යෝජනා රැසක් තමන් ඇතුළත් කළ බවද අමාත්‍යවරයා පැවසීය. මිලියන 400 ක වියදමකින් ප්‍රධාන රැස්වීම් ශාලාවක්, නේවාසිකාගාරයක් හා ගුරුවරුන් සඳහා නිවස්නයක් ඉදිකිරීම ඊට අයත්ය. මෙම කාර්යයන් 2023 දී සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය.

    ගුරු උපහාර පිදීමට අමතරව, පාසැල් මාධ්‍ය කවයේ සිසුන් 10 දෙනෙකු වෙත පදක්කම් පැළඳවීමද අමාත්‍යවරයා අතින් සිදුවිය. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ උපදේශකත්වයෙන් පාසැල ආරම්භ කළ 2013 වසරේදීම පාසැල් මාධ්‍ය කවය ආරම්භ කරන ලදී. සිසුදරුවන් වෙත පොත් කට්ටලය බැගින් බෙදා දෙනු ලැබීය.

     

    දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා, මාතර කලාප ඔම්නි මුදලිගේ යන මහත්වරුද මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිනි වසන්තා මොහොට්ටි මහත්මිය ඇතුලු ආචාර්ය මණ්ඩලයද සිසු දරු දැරියෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya