මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් පාලනයට පසුගිය වසර එකහමාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181 ක් වැය කර තිබෙනවා -සෞඛ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 19, 2021

    අයවැය ප්‍රතිපාදනවලට අමතරව කොවිඩ් පාලනය සදහා ගෙවුණු වසර එකහමාර තුල සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181 ක් වැය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අසීරුම වකවානුවක මෙවැනි විශාල මුදලක් රටෙහි සෞඛ්‍ය පද්ධතියට වැය කිරිම රටක රජයක් ගත් ඉහළම සාධනීය පියවරක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ, “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ මාර්ග තුනක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට (17) එක්වෙමිනි.

    ඒ අනුව කිලෝමීටර් 2.5 ක දුර ප්‍රමාණයකින් යුත් යක්ගහපිටිය නෙළුම්පත්හින්න දේවාල ගම්මැද්ද මාර්ගය රුපියල් මිලියන 50 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කිරිමත්, කිලෝමීටර් 2.5 ක දුර ප්‍රමාණයකින් යුත් අඹකොටේ ශ්‍රී රාහුල මාර්ගය (වික්ටෝරියා රේන්ජ්), රුපියල් මිලියන 13.8 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ සහ කිලෝමීටර් 0.825 ක දුර ප්‍රමාණයකින් යුත් මල්පාන පන්සල මාර්ගය රුපියල් මිලියන 18.9 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමත් ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මේ වන විට බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එමෙන්ම බූස්ටර් එන්නත සදහා ලක්ෂ 145 ක එන්නත් තොගයක් අවශ්‍ය කරන බවත්, ඉන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් රටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම කීය.

    ඉදිරි මාස දෙක තුළ එම එන්නත් සියල්ල ගෙන්වීමට පියවර ගන්නා බවද විශේෂයෙන් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත වැඩි වශයෙන් ජනතාවට ලබාදීමට පියවර ගැනෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ වෛරසය ආසාදිතයින් නිවෙස් තුල රඳවා ප්‍රතිකාර සේවාවන් දියත් කිරීමේ ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් කරමින් සහ එම වැඩපිළීවෙල ලෝකයේම ප්‍රචලිත කළ යුතු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට සම්මානයක් ලබාදීමට සුදානමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

    වෛරසය ආසාදිතයින් එක්ලක්ෂ දාහතරදහසක් නිවෙස් රඳවා ප්‍රතිකාර සේවාවන් දියත් කළ බවත්,ඉන් අහිමි වුයේ එක් මිනිස් ජිවිතයක් පමණක් බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම පිරිසෙන් 1400 ක් පමණක් රෝහල් ප්‍රතිකාර සදහා යොමු කිරීමට සිදු වූ බවද අවධාරණය කළේය.

    මෙම ක්‍රමවේදය නිසා ඉන්දියාවේ වැනි තත්ත්වයක් ඇති නොවු බවත්, එම ක්‍රමවේදය ලොව පුරා ප්‍රසාදයට ලක්විය යුතු කරුණක් බවත් අමාත්‍යවරයා කීය.

    මේ වන විට කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ මාර්ග 59 ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවද, මෙරට වැඩිම මාර්ග සංවර්ධන කටයුතු ප්‍රමාණයක් සිදු කරන කුරුණෑගල දිස්ත්‍රික්කය හැරුණු විට දෙවන ස්ථානයේ පසුවන්නේ කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසය බවද හෙතෙම කීය. 2022 වර්ෂයේ මෙම සංවර්ධන වැඩසටහන් අවසන් කිරිමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya