මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2021“ සඳහා අයදුම්පත් කැඳවයි

    නොවැම්බර් 01, 2021

    ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මෙවරද ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවා ඇත.

    ඒ අනුව “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2021“ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර අයදුම්පත් යොමුකළ හැකි අවසාන දිනය 2021‍ නොවැම්බර් මස 30 වන දින වේ.‍

    21 වන සියවසේ අභියෝගයට මුහුණදෙනු වස් මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මඟින් තම වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම හා උනන්දු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණකි. දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18 – 55 ත් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදි හැඳුනුම්පත ලබා ඇති මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය තාක්ෂණික ශිල්පීන් හට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

    උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (රු. 200,000.00) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (රු.100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබා දේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව පාඨමාලා හැදෑරිය හැක.

    කිසිදු මුදලක් අය නොකර නොමිලේ ලබාදෙන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා වසර 5ක් ඉක්ම ගිය පසු මුල් පාඨමාලාව සාර්ථකව අවසන් කළ ජනමාධ්‍යවේදීන්ට දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

    ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50%ක් පාඨමාලාව ආරම්භයේදී පළමු වාරිකය ලෙසත්, ඉතිරි 50% න් 25% ක් පාඨමාලාවේ දෙවන වාරිකය ලෙසත් ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදුකරනු ලබයි.

    මේ සඳහා යොමුකරන සියලුම අයදුම්පත් 2021.11.30 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරණ ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ආදර්ශ අයදුම්පත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ https://www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර මේ පිළිබඳව වැඩි විස්තර 0112 513 645 / 0112 513 459 / 0112 513 460 ඇමතීමෙන් ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya