මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු සම්පත් ක්ෂේත්‍රය ඉහළ නංවන්න තාක්ෂණය ලබා දෙන්න නවසීලන්තය සූදානම් - ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපති

    ඔක්තෝබර් 11, 2021

    දේශීය කිරි ගොවියාට අවශ්‍ය තාක්ෂණය ලබාදෙමින් ශ්‍රී ලංකාව තුළ පශු සම්පත් ක්ෂේත්‍රය ගුණාත්මකව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට නවසීලන්ත රජය සූදානම් බව එරට තානාපති මයිකල් එඩ්වඩ් මහතා පවසයි.

    නවසිලන්ත තානාපති හා පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් යන මහත්වරුන් අතර පශු සම්පත් ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශයේ දී පසුගියදා පැවැති අතර ඒහිදී තානාපතිවරයා මේ බව පවසා ඇත.

    මෙහිදී කුඩා පරිමාණ කිරි ගොවියන්, මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයන් බවට පත්කිරීමට අවශ්‍ය ගොවිපල සංවර්ධන තාක්ෂණ ක්‍රමවේද ලබාදීමට නවසීලන්තය සතුව පවතින හැකියාව අමාත්‍යවරයා විමසා සිටියේය. එමෙන්ම දිගුකාලීනව දෙරටේ මිත්‍රත්වය පිළිබඳව සතුටු විය හැකි බවද මෙරට පෝෂණ අවශ්‍යතාව ඉටු කිරීම උදෙසා නවසීලන්ත රජය විශාල දායකත්වයක් ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී නවසිලන්ත තානාපතිවරයා කියා සිටියේ ඉදිරියේදී ද්විපාර්ශික සබඳතා හරහා අන්තර් කිරි ගොවී තාක්ෂණික හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නවසීලන්ත රජය පියවර ගන්නා බවයි. ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා රජය සමඟ මිත්‍රශීලී ස්වභාවයෙන් කටයුතු කිරීමටත් දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

    පශු වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය උසස් තාක්ෂණික වෘත්තීය පුහුණුව ලබාදීමටත්, ගොවි මහතුන් සඳහා කෙටි කාලීන ප්‍රායෝගික පුහුණු තාක්ෂණික වැඩසටහන් සකස් කිරීමටත් ඉදිරියේදී නවසීලන්ත රජය අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද නවසිලන්ත තානාපති මයිකල් එඩ්වඩ් මහතා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්. සේනානායක මහතා, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවල මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya