මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතියෙන් උසස් බ්ලොක්ගල් අඩු මිලට නිෂ්පාදනය කිරීමේ ධාරිතාව ඉහළට- සිමෙන්ති නිෂ්පාදන රැසක් නවතාවයකින් වෙළඳපොළට

    අගෝස්තු 17, 2021

    නිවාස අහිමි අඩු ආදායම්ලාභී ජනතාවට නව නිවාස ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති බ්ලොක්ගල් ගුණාත්මකභාවයකින් සහන මිලට නිපදවා ලබාදීම සඳහා රජය ආරම්භ කළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගම හෙවත් රෙඩෙකෝ සමාගම විසින් බ්ලොක්ගල් නිෂ්පාදන මේ වන විට රජයේ සංවර්ධන කටයුතු නිසිපරිදි සපුරාලමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් පාලනය වන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගම රජය විසින් පත්කළ නිලධරයන් තිදෙනෙකුගෙන් සහ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් පාලනය කෙරෙන රජය සතු සමාගමකි.

    බ්ලොක්ගල් නිෂ්පාදනයේ යෙදෙන අතර ම සිමෙන්ති ආශ්‍රිතව කෙරෙන වෙනත් සහ නව නිෂ්පාදන සඳහා ද රෙඩෙකෝ සමාගම මේ වන විට යොමුව සිටියි. ඒ යටතේ, නිවාස ඇතුළු ඕනෑම ඉදිකිරීමක් සඳහා අවශ්‍ය සියලු සිමෙන්ති නිෂ්පාදන සෑදීමට මේ වන විට සමාගම කටයුතු කරයි. එසේම උද්‍යාන අලංකරණය, නිවාස අලංකරණය, ගෙවතු අලංකරණය, ඇවිදීමේ මංතීරු, අත්වැටවල්, මලපවාහන ටැංකි, බංකු, අලිවැට සඳහා සෝලා විදුලි ශක්තිජනන කුටි, බෝක්කු, පෙරනිමිවල වැසිකිලි, අලි බාධක සහ අලින් සඳහා වූ සිමෙන්ති උල ඇතුලු බොහෝ නිෂ්පාදන අක්කර 2.5 ක් පුරා විහිදී ඇති නාවල කිරිමණ්ඩල මාවත රෙඩෙකෝ සමාගමේ ප්‍රධාන කර්මාන්තශාලාවේදි සහ ශාඛා කර්මාන්තශාලාවල දී දැකගැනීමට පිළිවන.

    රෙඩෙකෝ සමාගමේ වැසිකිලි පද්ධතිය කොටස්වලට ගැලවිය හැකි නව නිර්මාණයකි. මෙය බිම් පෝච්චිය සහ කොමඩ් ලෙසින් නිර්මාණය කර තිබේ. මෙය ඉතා අඩු වියදම් නිෂ්පාදනයක් ලෙස ද හදුන්වාදී තිබේ. මෙහි හදුන්වාදී ඇති නව නිෂ්පාදනයක් වනුයේ කණු උඩ සකස් කළ වල වැසිකිලියයි. මෙය වන අලි ගැවසෙන ප්‍රදේශවලට ගැලපෙන සේ සකසා තිබෙන අතර, අලින්ගේ පැමිණීම බලාගැනීමට බිත්තිවල කුඩා සිදුරු තබා ඇත.

    රෙඩෙකෝ සමාගම මේ වන විට තවත් සුවිශේෂී කටයුත්තකට මුලපුරමින් සිටියි. ඒ දෝෂ සහිත භාවිතයට නොගත් වාහන කර්මාන්තශාලාවේදීම අලුත්වැඩියාකිරීමයි. ඒ යටතේ අතහැර දමා තිබූ රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ලක්ෂ 05 ක වියදමකින් අලුත්වැඩියා කිරීමට සූදානම් කර තිබූ ෆෝක් ලිෆ්ට් එකක් රුපියල් 60,000 ක වියදමකින් අලුත්වැඩියා කිරීම ඇරඹූ බව සහකාර සාමාන්‍යාධිකාරී, කැප්ටන් සංජීව කදනාරච්චි මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 80% ක කොටස් සහ රාජ්‍ය දැව සංස්ථාවට කොටස් 20% ක් හිමි රෙඩෙකෝ සමාගමේ සභාපති ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතාත්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ශ්‍රීමතී සේනාධීර මහත්මිය සහ රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී එන්.ඩී. රුවන්පතිරණ යන මහත්වරු රෙඩෙකෝ සමාගමේ අධ්‍යක්ෂවරු ලෙස නිල බලයෙන් පත්ව සිටිති. ඒ හැර වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ සෙසු අධ්‍යක්ෂවරුන් ලෙස එච්.ජී.පී.ආර්. කුලතුංග, නිමල් වික්‍රමාරච්චි, ටී.එම්.ජේ. සුමේධ යන මහත්වරු කටයුතු කරති.

    රුපියල් ලක්ෂ 20 ක ආරම්භක වියදමක් දරමින් ගොඩනැගූ සීමාසහිත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගමේ මූලික කාර්යය වූයේ රජය ඉදිකරන නිවාස සඳහා ගුණාත්මක ප්‍රමිති සහගත සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීමයි. එවකට ලංකාවේ සිමෙන්ති බ්ලොක්ගල් නිෂ්පාදනය නොවූ අතර, රෙඩෙකෝ සමාගම සිය නිෂ්පාදන ඇරඹීමත් සමඟ ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා වන නව නිෂ්පාදනයක් ලෙස සිමෙන්ති බ්ලොක්ගල් සමාගම විසින් ප්‍රථම වරට ලංකාවට හදුන්වා දෙනු ලැබිණ.

    100% ක් රජය සතු සමාගමක් වන රෙඩෙකෝ සමාගමේ ශාඛාවන් 04 ක් මේ වන විට නාවල, හිඟුරක්ගොඩ, අම්පාර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ද ස්ථාපිත කර ඇත. මේ වන විට විවෘත කිරීමට නියමිත කොටගල ශාඛාවත් සමඟ එය කර්මාන්ත ශාලා 05 දක්වා ඉහළ යයි.

    නාවල කර්මාන්තශාලාව ආරම්භ කළේ ඉතාලියෙන් ආධාර ලෙස ලැබුණු බ්ලොක්ගල් මැෂින් 02 ක ආධාරයෙනි. එයට අමතරව රෙඩෙකෝ සමාගම විසින් මැෂින් 02 ක් මිලට ගෙන තිබිණ. මේ වන විට රෙඩෙකෝ සමාගම සතුව බ්ලොක්ගල් මැෂින් 06 ක් පවතියි.

    මෙම මැෂින් 06 න් වර්ග 02 කට අයත්වන බ්ලොක්ගල් නිපදවයි. ඒ කුහර සහිත සහ කුහර රහිත බ්ලොක්ගල් වශයෙනි. ධාරිතා 03 කින් යුත් එම මැෂින් 06 න් එක් වරකට එක් විනාඩියකදී අගල් 04 බ්ලොක්ගල් 05 ක් බැගින් ද, අගල් 06 බ්ලොක්ගල් එක්වරකට 04 ක් බැගින් ද, අගල් 08 බ්ලොක්ගල් එකවරකට 03 ක් බැගින් ද නිපදවිය හැක.

    මෙම බ්ලොක්ගල් නිපදවීම සම්පූර්ණ යාන්ත්‍රිකව සිදුකෙරෙන අතර, මිනිස් ශ්‍රමය අවශ්‍ය වනුයේ සිමෙන්ති මිශ්‍රණය දැමීම ඇතුළු අමතර ක්‍රියාවන් සඳහායි.

    බ්ලොක්ගල් සඳහා වන ප්‍රමිති සහතිකය ලංකාවේ පළමු වරට ලබාගත් සමාගම ලෙස ඉතිහාස ගතවන රෙඩෙකෝ සමාගම, ආයතනික සහ ප්‍රමිති ආයතනයේ තත්ව පරීක්ෂාවන් දෙකකදී සිය නිෂ්පාදන පරීක්ෂාවට ලක්කරයි.

    මෙහි නිෂ්පාදිත බ්ලොක්ගල් කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 16 සහ කිලෝග්‍රෑම් 22 ක් වන විශේෂිත බරකින් යුක්තවන අතර, එක් ගලක් බැද නිමකිරීමේදී සම්පූර්ණ වර්ග අඩියක් ආවරණය කෙරේ.

    රෙඩෙකෝ සමාගම නිෂ්පාදනය කරන කුහර සහිත බ්ලොක්ගල්හි විශේෂත්වයක් පවතියි. ඒ කුහර ගල පැති 26 කින් තදබල තෙරපීමකට ලක්වීමයි.

    1983 වසරේ දී ඇරඹූ රෙඩෙකෝ සමාගම මසකට රුපියල් ලක්ෂ 1.5 ක් ලෙස පවත්වාගෙන ආ නිෂ්පාදන ධාරිතාවය මේ වන විට රුපියල් ලක්ෂ 02 ක් දක්වා ඉහළ නංවාගැනීමට රෙඩෙකෝ සමාගම සමත්ව සිටියි. ඒ බොහෝ තරගකාරී සමාගම් සහ ස්වයං රැකියා, ගෘහ කර්මාන්තකරුවන් රැසක් සමඟ තරග වදිමිනි.

    රෙඩෙකෝ සමාගමේ ප්‍රධාන රාජ්‍ය ගැනුම්කරුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය සහ ඒ යටතේ ඇති රාජ්‍ය ආයතන, වෙනත් සියලු රාජ්‍ය ආයතනත්, ජල සම්පාදන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් කටයුතු කරයි. ඒ අතර පළාත් පාලන ආයතන ද සිටියි. පුද්ගලික අංශයේ ගනුදෙනුකරුවන් ලෙස මාගා ආයතනය, නවලෝක ඉදිකිරීම් සමාගම, සියෙරා සමාගම ඇතුලු සමාගම් ද රජයේ සංවර්ධන කටයුතු කරන කොන්ත්‍රාත් සමාගම් ද කටයුතු කරනු ලබයි.

    සේවකයන් 150 ක් පමණ දැනට රෙඩෙකෝ සමාගමේ කර්මාන්තශාලාවල සේවය කරයි. සමාගමේ ඉදිරි සැලසුම් අතර නව කර්මාන්ත ලෙස සංවර්ධන ව්‍යාපෘති, යකඩ ආශ්‍රිත ඉදිකිරීම් ඇරඹීමට අදාල කටයුතු දැනට සැලසුම් කරමින් පවතියි.

    කර්මාන්තශාලා කළමණාකරු අසෝක ජයකොඩි මහතා ප්‍රකාශ කරන පරිදි රෙඩෙකෝ සමාගම දිනෙන් දින නව නිර්මාණ බිහිකරමින් සිටියි. ගණකාධිකාරි සම්පත් පෙරේරා මහතාගේ අදහස වූයේ, රෙඩෙකෝ සමාගම විසින් ලාභ ලබමින් උපයන මුදලින් පවත්වාගෙන යන රාජ්‍ය පුද්ගලික සමාගමක් බවයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්‍ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ශ්‍රීමති සේනාධීර, රෙඩෙකෝ සමාගමේ සාමාන්‍යාධිකාරී විශ්‍රාමික බි්‍රගේඩියර් අමිත් සෙනෙවිරත්න, රෙඩෙකෝ සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී කැප්ටන් සංජීව කදනාරච්චි යන මහත්ම මහත්මීන් විසින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya