මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය කරමින් යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන දියත් කරයි

    අගෝස්තු 13, 2021

    බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය කරමින් යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන දියත් කරයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් චන්දන අරංගල මහතා සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව බස්නාහිර පළාත තුළ මේ වනතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අදහසකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් සමගින් විශේෂ ජංගම එන්නත්කරණ රථ 10 ක් මෙම කාර්ය සඳහා සූදානම්කර ඇත. ඒ අනුව, මෙම ජංගම එන්නත්කරණය සිදුකර ගැනීමට අවශ්‍ය අයවළුන් 0112860002 හෝ 1906 යන දුරකථන අංක ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා ලියාපදිංචි වීමෙන් එන්නත්කරණය සිදුකර ගැනීමේ හැකියාව හා වැඩිදුර තොරතුරු ලබාගැනිමේ හැකියාව ඇත.

    යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල මහතා විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, හෙතෙම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කැප වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වා දුන්නේය. පසුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නවතමයෙන් හඳුන්වාදෙනු ලබන ජංගම එන්නත්කරණ රථ නිරීක්‍ෂණය කරමින් එහි වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය විමසුවේය.

    ඒ අනුව, වෛද්‍ය නිලධාරින්, හෙදියන්, වෛද්‍ය සහයකයින්, දත්ත ක්‍රියාකරුවන් සහ රියදුරුගෙන් සමන්විත මෙම ජංගම එන්නත්කරණ රථ අද (12) දින දෙමටගොඩ ප්‍රදේශයේ එක් එන්නත්කරණ රථයක්, කොළඹ 15 මෝදර ප්‍රදේශයේ එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම මාවත සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ එක් රථයක්, කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ එන්නත්කරණ රථ 03 ක් සහ කොළඹ 15 බ්ලූමැන්ඩල් මාවත ප්‍රදේශයේ එන්නත්කරණ රථ 02 ක් වශයෙන් යොදවා ඇත.

    ලැබෙන තොරතුරු මත අවශ්‍යතාවය ප්‍රමුඛත්වය මත කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිරන්තර අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ජංගම එන්නත්කරණ වැඩසටහනේ නිරීක්‍ෂණ කටයුතු සඳහා වෛද්‍යවරයෙක් සමඟ ගිලන් රථයක් එන්නත්කරණ ක්‍රියාවලිය පුරාවටම අවශ්‍ය අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.

    රජයේ සෞඛ්‍ය නිලධාරීන්, අනෙකුත් වෘත්තිකයින් සහ පරිපූරක වෛද්‍යවරුන් විසින් සිදුකරගන යනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරිමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩසටහනට යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ලබාදෙනු ලබයි.

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලැබූ ජංගම එන්නත්කරණ ක්‍රියාවලිය නුදුරේදී දිවයිනේ අනෙකුත් පළාත් ආවරණය කරමින් දිපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල මහතා , 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න මහතා , යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා , යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ මහතා එක්වූහ.

    SL Army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya