අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්වන මාත්‍රාවක අවශ්‍යතාවයක් පෙනුනහොත් එය ලබාදීමටත් සූදානම්- රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

    අගෝස්තු 09, 2021

    තුන්වන මාත්‍රාවක අවශ්‍යතාවයක් පෙනුනහොත් එය ලබාදීමටත් සූදානම් බවත් ලෝකයේ පවතින ඖනෑම කොවිඩ් ප්‍රභේදයකට අදටත් අප සතුව පවතින හොඳම උපක්‍රමය එන්නත්කරණය බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    ඔහු මේ බව සදහන් කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ''ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 එන්නත්කරණයේ අද සහ හෙට'' නැමැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙරට ලබාදෙන එන්නත් සියල්ලකින්ම 95% - 96%ක ආරක්ෂාවක් සැළසෙන බවද, දෙවන එන්නත් මාත්‍රාවද ලබාගෙන සති දෙකක් සම්පූර්ණ වීමෙන් පසු පූර්ණ ප්‍රතිශක්තිකරණයක් සැළසෙන බවද ඔහු කියා සිටියේය.

    වයස අවුරුදු 30ට වැඩි ලංකාවේ සියලුදෙනාගෙන් 96%කට එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී අවසන් බවද, දෙවනි මාත්‍රාව ලබාදී ඇත්තේ 25%කට පමණක් බවද, මෙම මාසය ඇතුළත පළමු මාත්‍රාව ලබාදුන් 96% දෙනාටම දෙවන මාත්‍රාව ලබාදෙන බවද පැවසීය.

    මිලියනයකට ආසන්න ප්‍රමාණයකට තවමත් පළමු මාත්‍රාව පමණක් ලබාදී ඇති නිසා ඔවුන් සෑම දෙනෙකුටම සැප්තැම්බර් මස මැද වන විට දෙවන මාත්‍රාව ලබාදී පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබාදීමට හැකිවනු ඇතැයි වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

    එක එන්නතකට වඩා වෙනත් නමකින් පවතින එන්නතක් වඩා හොඳ යැයි සමාජයේ විවිධ මත පළ වුවද ලොව දැනට භාවිතා කරන සෑම එන්නතක්ම පාහේ කොවිඩ් ප්‍රභේද සඳහා සාර්ථක ප්‍රතිචාර දක්වන බව පැවසූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, මිත්‍යා මත හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 40,000ක් පමණ තවමත් එන්නත් ලබාගෙන නොමැති බව කීය.

    දෙවැනි මාත්‍රාව සම්පූර්ණ නොමැති තත්ත්වයක ලෝක ප්‍රජාවට තෙවැනි මාත්‍රාවක් නියම කිරීම හෝ එහි අවශ්‍යතාවයක් පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

    ලොව විවිධ රටවල දෙවන මාත්‍රාව ලබාගත් රෝගීන් පසු රෝග වලට ගොඳුරු වන්නේ දැයි පරීක්ෂා කෙරෙන බවත් එම දත්ත අනූව බරපතල රෝගී රෝගවලින් පෙළෙන සහ වැඩි වශයෙන් රෝගීන්ට නිරාවරණය වන අවස්ථාවන්වලදී තුන් වන මාත්‍රා සදහා අවශ්‍ය එන්නත් ඇතැම් රටවල් වෙන්කර තබාගෙන තිබෙන බවත් දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කළ පසු රෝගය පාලනය කරගැනීම සඳහා තුන්වන මාත්‍රාවක අවශ්‍යතාවයක් පෙනුනහොත් අප එයට සූදානම් බව ද ලංකාවේ මුළු ජනගහණයටම එවැනි අවශ්‍යතාවයක් මතු වුවහොත් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරදීමට සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

    වැදගත්ම දෙය දෙවන තුන්වන මාත්‍රා පිළිබදව සිත සිතා නොසිට ළගටම පැමිණි එන්නත ලබාගැනීම බවද ඔහු කියා සිටියේය. දෙසැම්බර් වන විට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 18ක් ලබාගැනීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

    යම් ප්‍රද්ගලයෙකුගේ ශරීරයේ වෛරසය පවතින අවස්ථාවක මහන්සි වුවහොත් සුළු රෝගී තත්ත්වය බරපතල විය හැකි බවද, රෝග ලක්ෂණ පවතී නම් ළගම ඇති රෝහලය යාමට මැළි නොවන ලෙසද ඔහු පැවසුවේය.

    පසුගිය දින වල සමාජ ජාලා සහ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණු ඇතැම් දර්ශන සහ පින්තූර හේතුවෙන් බොහෝ දෙනා රෝහල් වෙත යාමට බියවූ බවද, මේ වන විට රෝහල්වල තත්ත්වය කළමනාකරණය වෙමින් තියෙන බවද නිදහසේ ගොස් රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමේ වාතාවරණයක් උදාවනු ඇතැයිද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සදහන් කළේය.

    වයස අවුරුදු 30ට අඩු අයටද එන්නත ලබාදීමට කටයුතු කරන බවද මෙම මස මැද ඔවුන්ට පළමු මාත්‍රාව ලබාදීම අරඹන බවද සදහන් කරමින් විශේෂ කරුණු කිහිපයක් ඔහු අවධාරණය කළේය.

    එනම් අංක එක එන්නත් ලබාගැනීමයි. මිනිසුන් වැඩි වශයෙන් සිටින තැනකට අත්‍යවශ්‍යම හේතුවක් නොමැති නම් පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙන තෙක් නොයා සිටීම වැදගත් බවද, පූර්ණ ප්‍රතිශක්තිකරණයක් ලැබුණු පසුද මුඛ ආවරණ නොගලවන ලෙස මෙන්ම අනවශ්‍ය තැන් වලින් කෑම බීම නොගන්නා ලෙසද ඔහු කියා සිටියේය.

    ආහාර ගැනීමේදී තමන්ගේම ස්ථානයක දෑත් හොදින් පිරිසිදු කරගනිමින් පුද්ගලිකව කෑම ගැනීම වැදගත් බවද, යම් අයෙකුට රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya