මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් පැළ මිලියන 4ක් අලුතෙන් වගා කිරීමට සැලසුම්

    ජූලි 06, 2021

    පොල් අපනයනයෙන් පසුගිය වසරේදී  රුපියල් බිලියන 22ක වාර්තා ගත ආදායමක් වාර්තා වූ බවත්, දිනෙන් දින අපනයන ඉල්ලුම ඉහළ යමින් පවතින බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    දොරින් දොරට - කප්රුක” ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (06දින ) පැවති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    දිනෙන් දින ඉහළ යන පොල් අපනයන ඉල්ලුම සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයකට මුහුණ දී ඇති බවත්, ඒ අනුව අමුද්‍රව්‍ය සපයාදීම තවමත් සම්පූර්ණ කිරීමට නොහැති වී ඇති බවත්, වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙන පොල් ගෙඩි බිලියන 03ක පමණ වන ප්‍රමාණය සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කර නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙම කරුණු සියල්ල සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු කිහිපයක් ගෙන ඇති බවත්, ඒ අනුව පවතින පොල් ගස් පෝෂණය කර ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මූල්‍යමය හා නෛතික ප්‍රතිපාදන ගෙන ඇති බවත්, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    එහි එක් පියවරක් ලෙස පොල් ගස ගස් හෙළීමේ පනතට ඇතුලත් කිරීම සඳහා වන ප්‍රතිපාදන ගෙන ඇති බවත්, එම නිසා පසුගිය දිනවල නිකුත් වූ ගැසට් නිවේදනය මගින් පොල් ගස ගස් හෙළීමේ පනතට ඇතුල් කර ඇති බවත්, එම නිසා මින් පසුව පොල් ගස් හෙළීම සඳහා නීතිමය අවසර ලබා ගත යුතුව ඇති බවත්, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම ඉඩම් කැබලි කිරීමේ මණ්ඩලය මඟින් ඉඩම් කැබලි කිරීම අඩු කරන්නට අවශ්‍ය නීතිමය විධී විධාන ගනිමින් සිටින බවත්, මීට අමතරව අය වැයෙන් රුපියල් මිලියන 300ක් පොල් වගාව සහ ජල සම්පාදන යෝජනා ක්‍රම වෙනුවෙන් වෙන් කර ඇති බවත්, එමෙන්ම ඉදිරි කාලයේදී කාබනික පොහොර ප්‍රවර්ධනයටත් කාබනික පොහොර නිෂ්පාදන පිරිවැය ගොවියන් අතට ලබා දෙන්නටත්, රජය කටයුතු කර ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මීට අමතරව පොල් වගාවේ පවතින තත්ත්වය ඉහළ නැංවීමට පොල් පැළ මිලියන 4ක් අලුතෙන් වගා කිරීමටත්, 2022 වසර හා 2023 වසර වන විට ක්‍රමානුකූලව වාර්ෂීකව එම ප්‍රමාණය පැළ මිලියන 05ක් හා 06ක් දක්වා වැඩි කිරීමටත් අවශ්‍ය සැළසුම් සකස්කර ඇති බවද වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya