මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීරකැටිය උඩුකිරිවල වැව ඉදිරිපිට ''හෙළ බොජුන්හල'' ජනතා අයිතියට

    ජූලි 06, 2021

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තංගල්ල වීරකැටිය උඩුකිරිවල වැව ආශ්‍රිත හෙළ බොජුන්හල වාරිමාර්ග හා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු අමාත්‍ය හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් ජූලි 04 දින ජනතා අයිතියට පත් කෙරිණ.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනට පවත්වාගෙන යන හෙළ බොජුන් හල් සංකල්පය අනුව ප්‍රාදේශීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවා, ජීවන රටාව උසස් කර, ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය මඟ පෙන්වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඊට අමතරව ජනතාවට විවේකීව ගත කිරීමට හැකි උද්‍යානයක් ද සකස් කර ඇත.


    මෙම හෙළ බොජුන් හලෙන් ප්‍රදේශයේ ජනතාවට මෙම හෙළ බොජුන් හල තුළින් ප්‍රදේශයට ආවේණික සහ ආවේණික නොවන පිසූ ආහාර වර්ග මෙන් ම නොපිසූ ආහාර වර්ග අලෙවි කර ගැනීමට ද අවස්ථාව සැලසී ඇත.


    සංවර්ධනය කරන ලද හෙළ බොජුන් හලක් සමඟ ම භූමි අලංකරණය කිරීම සහ වාහන 20 ක් පමණ නවතා තැබිය හැකි රථ ගාලක් දැනටමත් ලබා දී ඇති අතර අංග සම්පූර්ණ සනීපාරක්ෂක පහසුකම් සහිත සෞඛ්‍ය ආරක්ෂිත සේවාවන් ද සපයා තිබේ.

    මෙයට අමතරව වැවට හානිකර නොවන ආකාරයට වැව් ඉවුරට සමීපව වැව් ජලය මත විවෘත එළිමහන් කලාපයක් ද ජනතාවට විවේකීව ගත කිරීමට හැකිවන පරිදි සකස් කර ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ වන ඉදිරි සංවර්ධන කටයුතුවල දී උඩුකිරිවල වැව බැම්ම මත ඇවිදින මංතීරුවක් සකස් කිරීම ඇතුළු වැව අවට සුන්දරත්වය වැඩිවන ආකාරයෙන් තවත් පහසුකම් රැසක් ලබා දීමේ ව්‍යාපෘතියක් ද යෝජනා වී තිබේ.

    වැව් ආශ්‍රිත ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීම තුළින්, පරිසරයේ සෞඛ්‍යාරක්ෂිත බව සුරැකීමත්, සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක බවින් ඉහළ නගරයක් නිර්මාණය කිරීමත්, අර්ධ නාගරික සහ ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ගයන් ඉහළ නැංවීමත් යන කරුණු මෙම ව්‍යාපෘතියට පාදක වී තිබේ.

    පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින ආරම්භ කර මෙම වසරේ ජුනි මස 02 වන දිනෙන් අවසන් වන දින 150 ක් ඇතුළත නිම වූ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 02 ක මුදලක් වැය වී තිබේ.

    මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික උපදේශකත්වය නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබයි. අරමුදල් සැපයීම සහ ව්‍යාපෘති සැලැස්ම නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරයි. ව්‍යාපෘතියට අදාළ භූමියේ හිමිකාරීත්වය වීරකැටිය ප්‍රාදේශීය සභාව සතුව පවතී.

    මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් ගලප්පත්ති, අජිත් රාජපක්ෂ, හිටපු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරිහූ පිරිසක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya