මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කුරුළු උද්‍යානය ඉදිකිරීමේ කටයුතු මාදිවෙලින් ආරම්භ කෙරේ

    ජූනි 29, 2021

    * මාදිවෙල තෙත්බිම් පද්ධතිය හා පරිසරය ආරක්ෂා කරගනිමින් අලංකාර උද්‍යානයක්.

    * රටේ අනාගතය වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

     නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ඉදිකෙරෙන (Colombo Bird Park) කොළඹ කුරුළු උද්‍යානයේ වැඩ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අතින් (28) දින මාදිවෙලින් ආරම්භ කෙරිණ.

     

    අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය හා රජයේ සංවර්ධන සැලැස්මට අනුව කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ අද වන විට ඉහළ සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශයක් බවට පරිවර්තනය වෙමින් පවතී. ඒ අතරේ තෙත් බිම් උද්‍යාන, නාගරික වන උයන් සහ නාගරික කෘෂි උද්‍යාන ඇතුළු දේශීය හා විදේශීය සංචාරකයින් කොළඹ නගරයට ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපෘති රැසක් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සැලසුම් කර ඉදිකිරීම් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

     

    එහි එක් පියවරක් ලෙස කොළඹ කුරුළු උද්‍යානය සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ශ්‍රී ලාංකිකයින් හට නවතම සංචාරක අත්දැකීමක් ලබාදීම හා විදේශීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

     

    කුරුළු උද්‍යානයට මුල්ගල තැබීම (28) වන දින නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

     

    නාගරික සංවර්ධන අධිකාරිය සතුව මාදිවෙල පිහිටි අක්කර 39 ක පමණ විශාලත්වයකින් යුත් වගුරු බිමක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිත අතර අද වන විට මෙම වගුරු බිම අවට ඇතැම් පදිංචිකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කරගැනීම්, අපද්‍රව්‍ය බැහැර කිරීම්, තෙත් බිම හරහා ගලා බසින ඇළ මාර්ගයන් වෙත මල අපවහන පද්ධති සම්බන්ධ කිරීම හා අනවසර ලෙස ගොඩ කිරීම් හේතුවෙන් මෙම තෙත් බිම විශාල තර්ජනයකට හා විනාශයට ලක්වී ඇත.

     

    එබැවින් මෙම තෙත් බිම සුරැකීමට හා දියවන්නා ඔය සමඟ සෘජුව සම්බන්ධ වන මෙම තෙත් බිම හරහා ගලා බසින ඇළ මාර්ග පවිත්‍රව තබා ගැනීමේ අරමුණින් කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය මාදිවෙල තෙත් බිම කේන්ද්‍ර කරගනිමින් මෙසේ ඉදිකෙරේ.

     

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ රටේ ඉදිරි අනාගතයට මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි.


    “අද අපි මේ පටන් ගත්ත කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය අපි ගොඩ නගන්නේ අනාගතය වෙනුවෙන්. විශේෂයෙන් ම අපේ රටේ ජනතාවට පමණක් නොවේ ඉදිරියේ මෙය හරහා සංචාරක ආකර්ෂණයක් ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවෙන් කොරෝනා තුරන් කරන්න උනත් අපි ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් සකස් කරල තියෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය ඇමතීමේ දී ප්‍රකාශ කළා ඒ සම්බන්ධව. සැප්තැම්බර් මාසය වන විට ලංකාවට එන්නත් ලැබෙනවා මිලියන 13 ක්. ඊට අමතරව ලංකාවෙත් එන්නත් නිෂ්පාදනය කරන්න සැලසුම් කරලා තියෙනවා. අපි අනාගතයට සූදානම් විය යුතුයි. අපේ අමාත්‍යාංශය වෙහෙස වන්නේ අනාගතය සාර්ථක කර ගැනීම වෙනුවෙන්. මේ වෙලාවේ ජනාධිපතිතුමා පෙන්වලා දුන්නා සහන සඳහා ආණ්ඩුව වියදම් කරනවා වසරකට රුපියල් බිලියන 750 කට වඩා. 2020 ලංකාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 1380. එහෙමනම් සහන සඳහා 60% කට වඩා මේ අවුරුද්දේ වියදම් කරලා තියෙනවා. ඉතුරු 40% න් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න ඕනේ. රටේ මහා විශාල සංවර්ධනයක් සිද්ධ වෙනවා. රටේ අනාගතය වෙනුවෙන් පාසල්, පාරවල් සහ රෝහල් වගේ දේවල් ඉදිවෙනවා. මේ තත්ත්වය යටතේ අපිට තවදුරටත් ජනතාවට සහන දෙන්න නම් ආදායම උපයා ගන්න ඕනේ. ආදායම උපයා ගන්න පුළුවන් දේවල් අපි කරන්න ඕනේ. ආදායම් උපයාගන්න නම් අපි ආයෝජන කරන්න ඕනේ. අන්න ඒ සඳහා තමයි අපි බොහෝ දේවල් සිදු කරන්නේ. හැමදේකින්ම රටට ආදායමක් ඉපැයෙනවා. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සැලැස්මේ පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා සෞභාග්‍යයේ දැක්මේ මැතිවරණයට පෙර එතුමා කියපු දේවල්. මේ කොරෝනා ප්‍රශ්නය මධ්‍යයයේ වුව ද 70% - 80% ක් පමණ ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඉතුරු ටික ප්‍රමාදවෙලා පමණයි. ඒ වැඩ ටිකත් ක්‍රියාත්මක කළාට පස්සේ අපිට අනාගතය සමෘද්ධිමත් කර ගැනීමට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ නිසා මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙන්නේ ආත්ම විශ්වාසය. ඒ ආත්ම විශ්වාසය ඇතිව වැඩ කළොත් අපට අනාගතය සමෘද්ධිමත් කරගන්න පුලුවන් වගේ ම අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්නට පුළුවන්.”යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේය.


    පෞද්ගලික අංශයත් මේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම මඟින් රටට ආයෝජන අවස්ථා ලබා ගත හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.


    “මේක තමයි මේ මාදිවෙල තියෙන අප ජල වල වෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමා වන ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා මේ පරිසරයට වටිනාකමක් දෙන ගමන්ම මේ ප්‍රදේශයට, ආර්ථිකයට ලොකු වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේ ම රටට, සංචාරක ව්‍යාපාරයට පරිසරයට මහත් වටිනාකමක් දෙන්න පුළුවන් ව්‍යාපෘතියක් අපි හඳුන්වලා දුන්නා. මේ අක්කර 35 තුළට පමණක් ඇතුළත් වෙනවා ඉතා වටිනා දැව, ශාක වර්ග 9000 කට ආසන්න ප්‍රමාණයක්. වටිනා ගස් වර්ග 9000 ක් පමණ අපි මේ භූමියේ හිටවනවා. මේ අවට ප්‍රදේශවලින් එකතු වන කසළ, බෝතල් ඉවත් කරලා මේක අපිට සමාජයේ ජීවත්වන දරුවන්ට විඳින්න පුළුවන් පරිසරයක් බවට මේ අක්කර 35 පරිවර්තනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපය. නාගරික සංවර්ධන අධිකාරියෙන් කරලා තියෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන රුපියල් බිලියන 02 ට 03 ට එහා ගියපු වැඩකටයුතු. අපි ඉන් එහාට ගිහිල්ලා පෞද්ගලික අංශයේ ආයෝජකයෝ එකතු කරගෙන රුපියල් බිලියන 03 ක් වටිනා මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අපි මේ අවුරුද්ද ඇතුළත විතරක් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් බිලියන 104 ක් ආයෝජනය කරලා තියෙනවා. ඒක තමයි අපේ සුවිශේෂීත්වය. මේ වගේ පරිසරයට වැදගත් ආර්ථිකමය වටිනාකමක් ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තමයි අපේ මුඛ්‍ය අරමුණ වන්නේ. පෞද්ගලික අංශයේ දායකත්වයත් සමඟ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන අපි විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. මෙම ව්‍යාපෘතිය අපි බලාපොරොත්තු වෙනවා වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය සහ අදාළ ආයතනවන මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේම ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වැනි ආයතනවල තියෙන සියලු නීති ක්‍රමවේදයන්වලට යටත්ව මේ ව්‍යාපෘතිය සාර්ථක කරලා මේ රටේ ජීවත් වන, අධ්‍යාපනය ලබන දරු දැරියන්ට වසර එක හමාරක් වැනි කෙටි කාලයකින් ලබා දෙන්න.”යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.


    කොළඹ කුරුළු උද්‍යානය ලොව සංචාරක ආකර්ෂණය කොළඹ නගරයට යොමු කරගැනීමේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට වසර 2025 වන විට පත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන අරමුණයි.

    දෙස් විදෙස් කුරුල්ලන්ගෙන් හා ලොව ප්‍රධාන සංචාරක උද්‍යානයන් හිදී ඇතුළත් නවතම ක්‍රීඩා අංගයන්ගෙන් යුක්තව පරිසර හිතකාමී අයුරින් මෙම උද්‍යානය ඉදිකිරීමට නියමිතය. මෙම උද්‍යානය කුරුළු සංදර්ශන, විදේශ හා දේශීය පක්ෂි ගවේෂණ, ජල උද්‍යාන, වන උද්‍යාන හා අවන්හල්වලින් (Cafeteria) සමන්විත අංග සම්පූර්ණ තේමා උද්‍යානයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත.

    එමෙන් ම දැනට විනාශ වෙමින් පවතින මාදිවෙළ තෙත් බිම සුරැකෙන අයුරින් සියළුම ඉදිකිරීම් නිම කිරීමට යෝජිත අතර තෙත් බිමෙන් 2% ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය වන ආකාරයෙන් ද අනෙක් භූමි ප්‍රමාණය පරිසර හිතකාමී ලෙස උද්‍යාන නිර්මාණීය සැලසුමකට අනුකූලව සංවර්ධනය කිරීමට යෝජිතය.


    රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරන ලද අවුරුදු 30 ක බදු වටිනාකම පදනම් කරගනිමින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පළපුරුදු පුද්ගලික අංශයේ ආයෝජකයකු තෝරාගෙන ඇත.


    තවද මෙම ව්‍යාපෘතිය සංවර්ධනය නිර්මාණය, ඉදිකිරීම, මූල්‍යනය හා ක්‍රියාත්මක කිරීමේ පදනම මත සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු මුදල රුපියල් බිලියන 1.5 ලෙස ඇස්තමේන්තු ගත කර ඇති අතර වසර 02 ක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතය.

    පරිසර හිතකාමී මෙන් ම රටේ පවතින නීතිමය ක්‍රමවේදයන්ට යටත්ව මෙම කුරුළු උද්‍යානය ඉදිකිරීමට යෝජිත අතර ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතනයන්හි අනුමැතිය හා සංවර්ධනය සැළසුම් මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම යෝජිත කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය ආයෝජකයා විසින් ඉදිකිරීම් හා නඩත්තු කර පවත්වාගෙන යාම සිදු කළ යුතුය.

    මෙම කොළඹ කුරුළු උද්‍යානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැඩගොඩ, හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර, මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර, කොළඹ බර්ඩ් පාක් පෞද්ගලික ආයතනයේ විධායක අධ්‍යක්ෂ අජිත් ගාල්ලගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya