මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමග සීඝ්‍රයෙන් ගොඩනැගෙනවා- වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ  

    අප්‍රේල් 22, 2021

     අපේ රජයක් ආරම්භ කරපු ව්‍යාපෘතියකින් ජනතාවට හානියක් සිදුවෙලත් නැහැ. ජනතාව අසතුටට පත්කරලත් නැහැ.......
    • වාරි සෞභාග්‍යා වැඩපිළිවෙළ යටතේ වසර පහක් තුළ කුඩා වැව් පන්දහසක් පිළිසකර කරනවා.......
    • රටේ ආර්ථිකය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමග සීඝ්‍රයෙන් ගොඩනැගෙනවා.......
    • අවුරුද්දක් ඇතුළත බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ වැඩ අවසන් කරනවා........ - වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ

    • ජන වරමට හානි වන,නැත්නම් ජන වරමට එරෙහි කිසිදු ක්‍රියාවකට මේ ආණ්ඩුව සුදානම් නැහැ........
    • මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුව වෙනම ආණ්ඩුවක් රට තුල නිර්මාණය කරන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ....... - සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනේදී ජනතාවගේ ජල අවශ්‍යතා සැපිරීමේ රජයෙ වගකීමක් බවත් එම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ (20) අත්තනගල්ල කරස්නාගොඩ පැවැති බස්නාගොඩ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිණි.
    චමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් මංගල පස් පිඩැල්ල කැපීම සඳහා එක්වුහ.

    මෙම ජල ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ආරම්භ කර ඇති නමුත් යහපාලන රජයේ නොසැලකිල්ල හේතුවෙන් ඉදිකිරීම් අතරමග නතරව ඇත.වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව ජනතාවගේ ජල අවශ්‍යතාවයට මූලිකත්වය දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ලක්ෂ 6 පමණ ජල අවශ්‍යතාවය සැපරීම සඳහා යෝජිත බස්නාගොඩ ජල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර ගත්තේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.


    මේ වැව ඉදිකිරීමෙන් පසුව ග්‍රමසේවක වසම් හාරසිය ගණනකට ජලය ලබා දෙනවා. මේ ජලාශය ඉදිකිරීමට සිය ඉඩම් පරිත්‍යාග කළ සියලු දෙනාට අමාත්‍යංශයේ ගෞරවය පුද කරනවා. මේ පරිත්‍යාගය නිසා
    ලක්ෂ 6ක පමණ ජල අවශ්‍යතාවය පිරිමැහෙනවා. ජලාශය ඉදිකිරීම සඳහා නිවාස 97 ඉවත් කරලා තිබෙනවා. ඉඩම් අක්කර 285 ක් මේ ව්‍යාපෘතියට යටවෙලා තිබෙනවා. ඒ අයට නැවත නිවාස හදාගන්න ඉඩම් ලබා වගේම වන්දි ලබා දෙන්නත් රජය පියවර ගන්නවා. අපේ රජයක් ආරම්භ කරපු ව්‍යාපෘතියකින් ජනතාවට හානියක් සිදුවෙලා නැහැ. අපි ජනතාව අසතුටට පත්කරලා නැහැ.

    මේ රටේ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස අමාත්‍යංශ නිලධාරීන් සමග රටපුරා ගමන් කරමින් වාරිකර්මාන්තය සම්බන්ධයෙන් සොයා බැලුවා. වාරි සෞභාග්‍යා වැඩපිළිවෙළ යටතේ වසර පහක් තුළ කුඩා වැව් පන්දහසක් පමණ පිළිසකර කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වැඩකටයුතු ආරම්භ වෙලා තියෙනවා. මන්නාරමේ ජල හිඟය නිසා වසරකට එක කන්නයයි වගා කරන්නේ.මේ නිසා දෙකන්නයම වගා කිරීමට හැකිවන පරිදි සහල්නැලිය කියන වැවට ජලය ලබා දෙන්න අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ වැඩපිළිවෙලින් පස්සේ කන්න දෙකේම වගා කිරීම හැකියාව ලැබෙනවා. ඒ වැව හදන්න මිලියන විසි හතර දහසක් වැයවෙනවා. අපි අපේ වාරි ව්‍යාපෘති සඳහා දේශීය අරමුදල් යෙදවීමටත්, දේශීය ඉංජිනේරුවන්ගේ ඥානයෙන් යොදා ගැනීමටත් කටයුතු කරමින් තිබෙනවා.

    නමුත් බස්නාගොඩ ජල ව්‍යාපෘතියට අදාල වැවට කොන්ත්‍රාත්තුව අත්සන් කර තිබුනේ සෑහෙන කාලයකට පෙරයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා මිලියන තිස් තුන්දාස් හැටක් වැය වෙනවා.අති විශාල මුදලක් වැය කර ඉදිවෙන මේ ජල යෝජනා ක්‍රමය මඟින් අත්තනගල්ල, මිනුවන්ගොඩ ඇතුලු ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කෙරෙනවා. ලංකාව පුරාම මෙවැනි ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මකයි. යාපනයේ ජනතාවගේ නියෝජිතයින් ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා ගැන සොයා බැලුවේ නැති වුනාට අපි එහෙම කරන්නේ නැහැ. යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. කලපු ජලාශ බවට පත්කර වැහි කාලයේදි කාලයේදී ජලය එකතු කර, ගොවි ජනතාවට ජලය ලබා දීමට ලබාදීමට දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් රැසක් තිබුනත් වගා කිරීමට අවශ්‍ය තරම් ජලය නැහැ. මොන තරම් දුෂ්කරතා මධ්‍යෙය් වුවත් ජනතාවගේ ප්‍රශ්න විසදන්න අවශ්‍ය පියවර රජය ක්‍රියාත්මක කරනවා. ජනතාවට යම් යම්
    අපහසු කම් තිබෙනවා. ඔබට තිබෙන අපහසුතාවයන් ගැන රජයට හොඳ අවබෝධයක් තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළොත් හැකි ඉක්මනින් අපේ රට සංචාරක ක්ෂේත්‍රයට විවෘත කරන්නත්, ආර්ථික වර්ධනය කරා ලගා වෙන්නත් අපිට පුලුවන්.

    දේශීය කහ අවශ්‍යතාවය දේශීයව සපයා ගන්න අපට හැකි වෙලා තිබෙනවා.ඒ මගින් මුදල් ඉතිරි වෙනවා. ඉතිරි වෙන ඒ මුදල් මෙවැනි ව්‍යාපෘති සඳහා යෙදවීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. දෙදහස්
    පහළොවේ දී අපි ඉවසීමෙන් කටයුතු කළා නම් අද වෙනකොට රට සංවර්ධනය කරා ගෙන ගිහින්. රටේ ආර්ථිකය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමග සීඝ්‍රයෙන් ගොඩනැගෙනවා. ඒ උනත් වරාය නගරය
    සම්බන්ධයෙන් දැන් නොයෙකුත් කතා ඇහෙනවා. හම්බන්තොට වරාය චීනයට දෙනකොට මේ කිසි දෙයක් බැලුවෙ නැහැ.අක්කර 15000ක් චීනයට දෙන්න උත්සාහ කරපු වෙලාවේ මහා සංඝරත්නය ඉදිරිපත් වෙලා එය වළක්වා ගත්තා.මේවා අපි අපේ අනාගත පරපුර සඳහා කරන යුතුකම්. අනාගත පරපුර වෙනුවෙන් අපි අපේ යුතුකම් ඉටු කරනවා.

    අවුරුද්දක කාලයක් ඇතුළත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කරන බවටත් පොරොන්දු වෙනවා.

    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-


    චීන වර්නීය ණය යෝජනා ක්‍රමය යටතේ ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ද ජල සම්පාදන ව්‍යාපෘතියක් වශයෙන් මෙම බස්නාගොඩ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් පත්‍රිකාව
    ඉදිරිපත් වුනේ 2010 අගෝස්තු 29 වෙනිදායි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා මුල්ම අවබෝධතා ගිවිසුම 2010 නොවැම්බර් 15 වෙනි දින අත්සන් කලා. රුපියල් මිලියන 33,060 කට චයිනා මැෂීනරි ඉංජිනියරින් කොපරේෂන් ආයතනයට මෙම කොන්ත්‍රාත්තුව ප්‍රධානය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි වුනේ 2013 මැයි මස 09 වෙනිදායි. ඊට අදාල කොන්ත්‍රාත් ගිවිසුම 2013 මැයි 15 වෙනිදා අත්සන් කලා. මේ ව්‍යාපෘතියට මුල්වුනේ එවකට ආර්ථීක සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ මැතිතුමායි.

    කොහොම වුනත් මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2015 බලයට පත් වුනු යහපාලන ආණ්ඩුව විවිධ හේතු දක්වමින් ප්‍රමාද කලා. මේ පිළිබද විවිධ පරීක්ෂන කරලා කරන්න දෙයක් නැති තැන යහපාලන ආණ්ඩුව හරියට තමන්ගේ ව්‍යාපෘතියක් වගේ 2017 පෙබරවාරි 19 වෙනිදා ඉදිකිරීම් ආරම්භ කලත් එයත් නිසි ලෙස ක්‍රියාත්මක වුනේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වුනාට පස්සේ අපි මේ ව්‍යාපෘතිය කඩිනම් කලා. ව්‍යාපෘතියේ තක්සේරු වාර්ථා ගැනීම පිළිබදව ගැටළුවක් මතුවුනාම මම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත් බව මට මතකයි.

    අද මේ ව්‍යාපෘතිය යටතේ බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය සදහා මංගල පස් පිඩැල්ල කැපීමට මම සහභාගී වුනේ ඉතාමත් සන්තෝශයෙන්. යහපාලනය විසින් මුඩු බිමක් බවට පත්කළ රට වත්මන් ආණ්ඩුව
    නැවත වැඩ බිමක් බවට පත් කරමින් තිබෙන බවට හොදම සාක්ෂියක් තමයි මේ.
    මේ ව්‍යාපෘතියෙන් මගේ දිස්ත්‍රික්කයේ ගම්පහ අත්තනගල්ල, මිනුවන්ගොඩ, මීරිගම, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාම සේවා වසම් 443 ක් ආවරණය වෙනවා. නව ජල සබදතා 110,000 ලබා දෙමින් 600,000 කට අධික ජනතාවකට මෙගින් සෙත සැලසෙනවා.

    මේ වන විටත් කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් නව ජල සම්බන්ධතා 120,000 ක් ලබා දීලා තියෙනවා. ඒ වගේම කටාන ජල සම්පාදන ව්‍යාපෘතියෙන් පානීය ජල සබදතා 20,000 ක් ලබා දුන්නා. මේ සංවර්ධන කටයුතු කරනකොට විපක්ෂයේ ඇහැට කටු අනිනවා වාගේ බලන් ඉන්න බෑ. බොරු චෝදනා දාලා මේ සංවර්ධන වැඩ කටයුතු අඩාල කරන්න විපක්ෂය උත්සහ කරනවා.

    පෝට් සිටි චෝදනාවත් ඒ වගේ එකක්. පෝට් සිටි පනතෙන් මේ රටේ ස්වෛරී භාවයට හෝ භෞමික අඛණ්ඩතාවයට කිසිදු හානියක් වන්නේ නැහැ. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පැවති 30 වසරක යුද්ධය අවසන් කරලා රට එක්සේසත් කරපු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුව වෙනම ආණ්ඩුවක් රට තුල නිර්මාණය කරන්න ඉඩ දෙයිද.

    දැන් අද කව්ද මේ පෝට් සිටි පනත හරහා චීන කොළණියක් හැදෙනවා, වෙනම රටක් හැදෙනවා ආණ්ඩුව රට පාවා දෙනවා කියලා කෑ මොර දෙන්නේ. මේ කෑ මොර දෙන්නේ එදා කොටින්ට ආයුද සල්ලි දුන්නු
    ප්‍රේමදාස පුතානෝ. රනිල් වික්‍රමසිංහගේ රට පාවා දුන්නු ඊනියා සාම ගිවිසුම ගහන වෙලාවේ ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා හිටපු ප්‍රේමදාස පුතානෝ. රටේ ජාතික ආරක්ෂාව බිංදුවට දාපු,
    රණවිරුවන් හිරේ යවපු, රට වෙනුවෙන් කථා කරපු ස්වාමීන් වහන්සේලා හිරේ දාපු, කොටින්ම හොර රහසේ කොටින්ට රට පාවා දෙන්න කුමන්ත්‍රණය කරපු යහපාලන නඩය. යහ පාලන නඩය රට පාවා දෙද්දි ඒකට විරුද්ධව වචනයක්වත් කථා නොකරපු රතු අලි පැටව්.කොටි සංවිධානයත් එක්ක එකතුවෙලා රට බෙදන්න කුමන්ත්‍රණය කරපු සුමන්දිරන් ඇතුලු කොටි නඩේ.

    අපි ඉතා පැහැදිලිව කියනවා මේ අය තමයි එදා බටහිරට රෙජීම් චේන්ජ් එකකට කඩේ ගියේ. මේ හදන්නේ ආයෙත් පාරක් ඒ වගේ දෙයක්. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිසිසේත් මේ රට
    පාවා දෙන්නේ නැහැ. ඒ නිසා විපක්ෂයේ බොරු වලට රැවටෙන්න එපා. 2020 අපි බලයට පත්වුනේ වැඩ කරන රටක් නිර්මාණය කරන්න. ගෝඨාභය රාජපක්ෂ රට හදන දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතා පැහැදිලිව කියනවා ''සැමට පිරිසිදු පාණිය ජලය සැපයීම ආණ්ඩුවක් වගකීමක් ලෙස සලකන බව'' පැය විසි හතර පුරාම රටේ සියළු නිවාස වලට පිරිසිදු පානීය ජලය සැපයීමට කටයුතු කරන බව එහි
    දැක්වෙනවා.

    කොවිඩ් නිසා රට තුල කිසියම් පසුබෑමක් සිද්දවුනත් අපි රටේ සංවර්ධනය අඩාල කලේ නැහැ. මේ ව්‍යාපෘතිය 2022 මැද භාගය වන විට අවසන් කිරීමට අපි අපේක්ෂා කරනවා.
    2019 දී ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්කරන්නත් 2020 දී අපිව බලයට පත් කරන්නත් ඡන්දය දුන් සියළුම ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් තබා ගන්න.
    ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසයට කිසිදු පලුද්දක් වන්නට අපි ඉඩ තබන්නේ නැහැ. ජන වරමට හානි වන,නැත්නම් ජන වරමට එරෙහි කිසිදු ක්‍රියාවකට මේ ආණ්ඩුව සුදානම් නැහැ. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන ප්‍ර දේශවාසීන් කීපදෙනෙකුට වන්දි පිරි නැමීමද සිදු විය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල්මහේන්ද්‍ර රාජපක්ෂ, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ වාරිමාර්ග හා ජල සම්පාදන අමාත්‍යාංශ නිළධාරිහු සහභාගී වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya