මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිපේ,උඩ ගල් දෙබොක්ක ගම්මානයේ ජනතාවගේ ගැටළුවට විසඳුම් ලබාදීමට අවධානය

    පෙබරවාරි 22, 2021

    මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නකල්ස් කඳු වැටියේ හුදකලා ගම්මානයක වන උඩ ගල් දෙබොක්ක ගම්මානයේ ජනතාව හුදෙකලා බවින් මුදවමින් ඔවුන් ගෙවන අති දුෂ්කර ජීවිතයට තිත තබමින් එම ගම්වැසියන් සියලු දෙනා වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම කෙරෙහි ජනපතිතුමන්ගේ අවධානය යොමු කරවන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය .

     

    මෙතෙක් විදුලිය ලබා දී නොමැති ගම්මාන වෙත විදුලි අවශ්‍යතා සපයා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම ගම්මානය වෙත පසුගියදා ලඟා වූහ.ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර ගණනක් මහ වන මැද ගමන් කර මෙම ගම්මානයට පිවිසියේ ඉතා දුෂ්කර මඟක් ගෙවමින්ය.

    මෙම මාර්ගයේ වන අලින්, වලසුන් මෙම ගම්වැසියන්ට නිරන්තරයෙන් හමු වන බවද ගම්වාසීන් පවසති.මෙම ගම්මානයේ නිවාස කටු මැටියෙන් ඉදි කර ඇති අතර, පවුල් 36 ක් පමණ මෙම ගම්මානයේ බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවති.

    මෙම ගම්වැසියන් කුප්පි ලාම්පු එළියෙන් අඳුර මකා ගන්නා අතර, මෙම ගම්මානයේ කිසිදු නිවසක විදුලි උපකරණයක් නැත්තේ මෙම ගම්මානයට තවමත් විදුලිය ලැබී නැති නිසාවෙනි.රූපවාහිනිය, ජංගම දුරකථන, රේඩියෝ ඇතුළු බොහෝ නව තාක්ෂණික උපකරණ මෙම ගම්වැසියන්ට ආගන්තුක දේ වී ඇත.උදෑසන සිට හවස් වන තුරු මහ පොළවත් සමඟ සටන් කර ලබා ගන්නා අස්වැන්නෙන් මේ ගම්මානයේ සියල්ලෝම ජීවිතය සරි කර ගනිති.වැසි දියෙන් පමණක් වගා කරන මෙම ගම්වැසියන් එම අස්වැන්න, කැලෑවෙන් කඩා ගන්නා කොස්, පොලොස් හා දෙල් මෙන්ම කිතුල් පැණි, කිතුල් හකුරුද දුෂ්කර මාර්ගය ඔස්සේ කර මතින් රැගෙන විත් නගරයට විකුණා ලබා ගන්නා මුදලින් තම නිවසට අවශ්‍ය අඩුම කුඩුමද නගරයෙන් රැගෙන නැවතත් නිවෙස් වලට යන බව පවසයි.කඳු මුදුනේ සිට ඇඳ හැලෙන දිය දහරින් පානීය ජල අවශ්‍යතා මෙන්ම අනෙකුත් අවශ්‍යතාද සපුරා ගනිති.

    පසුගිය කාළයේ ගොඩ හේන් වගා කල තම ගම්වැසියන් දස දෙනෙකුට කැලෑ හෙළි පෙහෙලි කිරීමේ චෝදනාවට වනසංරක්ෂණ නිලධාරීන් විසින් නඩු පැවරූ බවත්. ඒ හේතුවෙන් දැන් තමන්ට වගා බිම්ද අහිමි වෙමින් පවතින බවත් ගම් වැසියන් පැවසූහ.

    එහිදී අමාත්‍යයවරයා ගම්වාසීන් සමඟ සාකච්ජා පැවැත්වීය.එහිදී ගම්වාසීන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ විදුලිය හා මාර්ගය පිළිසකර කර දෙන ලෙසයි, නැතහොත් වගා කිරිමට ඉඩමක් සමඟ නිවසක් වෙනත් ප්‍රදේශයකින් ලබා දෙන්නේ නම් , තම දුෂ්කර ජීවිතයට සමු දීමට හෙට වුණත් සූදානම් බවද ගම්වැසියන් පැවසීය.

    එහිදී අමාත්‍යයවරයා කියා සිටියේ මෙම ගම්මානයට කිලෝ මීටර ගණනක් විදුලිය හා මාර්ගය ලබා දීම වෙනුවෙන් රජයට විශාල වියදමක් මෙන්ම හා ඒ සඳහා කාළයක් ගත වෙනවා .ඒ අනුව මෙම ගම්මානයේ සියලු පවුල් සඳහා පහසුකම් සහිත ප්‍රදේශයකින් නිවසක් ඉඳි කර, ගොඩින් හා මඩින් වගාවට ඉඩම් ලබා දීම රජයට මෙන්ම ගම්වාසීන්ටද පහසුවක් වන බවයි.ඒ අනුව එසේ ඉඩමක් ලබා දුන්නොත් යන්න කැමතිදැයි ගම්වාසීන්ගෙන් විමසා සිටියේය.

    අපි කැමතියි, එහෙම නම් පැටව් ටිකත් අරගෙන අපි එනවා, එහෙම දෙන්න පුලුවන් නම් පිංසිද්ධ වෙනවා, අපි විදින්නේ දුක විතරයි, උදේම කඩේට අවාම හැන්දෑවේ 06 වෙනවා ගෙදර යන කොට , අපිටත් පහසුකම් තියෙන පැත්තකින් මඩින් හරි ගොඩින් හරි වගා ඉඩමක් එක්ක පදිංචි වෙන්න ඉඩමක් දුන්නා නම් අපි එන්න ලෑස්තියි. එහෙම කරන්න බැරි නම් ලයිට් ටික දීලා , පාරයි හදලා දෙන්න යැයි ඉල්ලා සිටියහ.

    මේ පාර හදන්න කෝටි 09 ක් යනවා නම්, ලයිට් දෙන්න කෝටි 03 ක් විතර යනවා නම් ඒ සල්ලි වලින් ඔයාලට වෙන තැනක ඉඩම් දීලා, ගෙවල් හදලා දෙන එක වටිනවා.අපිට මේ ගමට ලයිට් දෙන්න බැරි කමක් නෑ, හැබැයි ලයිට් දුන්නා කියලා ඉතුරු ප්‍රශ්න විසදෙන්නේ නෑ, හැම ප්‍රශ්නයක්ම විසදන්නයි අවශ්‍යය යැයි අමාත්‍යවරයා පැවසීය.

    අපි කපරාරු කරපු ගෙයක නිදා ගෙනවත් නෑ, අපේ ගෙවල් වල ගොම මැටි ගාලා තියෙන්නේ, අපිට නැතත් අපේ දරුවෙක් හරි කපරාරු කරපු ගෙදරක ඉන්නවා දකින්න ආසයි ඒ නිසා අපිට වෙන කොහෙන් හරි ඉඩම් දීලා ගෙවල් හදලා දෙන්න යැයි ඉල්ලා සිටියහ.අපේ දරුවෝ සමාජයට භයයි, එයාලා සමාජයට ඇවිත් නෑ, ගමේම තියෙන ඉස්කෝලෙට යන්නේ, ඉස්කෝලේ උගන්වන්නෙත් ගමේම අය, පිට අය දකින කොට ගොඩක් භයයි එයාලා.අවුරුදු 17 වුණ ගමන් ගමේම කෙනෙක් බඳිනවා. යැයි පැවසීය.

    එම ගම්මානයේ පාසල් දරුවන් වෙත අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට පහසුව සඳහා සූර්ය විදුලි පැනල පද්ධති හා පාසල් උපකරණත්, ගම්මානයේ සියලු පවුල් වෙත වියළි සලාක මල්ලක් ප්‍රදානය කිරීමත් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

    තම ගම්මානයට පැමිණ තමන් ගෙවන ජීවිතය දැක කුප්පි ලාම්පුවෙන් ඉගෙනුම ලැබූ තම දරුවන්ට සූර්ය පැනල ලබා දීම, අධ්‍යාපන උපකරණ පිරිනැමීම හා ගම්වාසීන්ට ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ගම්වාසීන් තුති පුද කළ අතර, එහිදී අමාත්‍යයවරයා කියා සිටියේ මේ ගමට විදුලිය දෙනවාට වඩා වැඩක් කරන්න තියෙනවා කියලා මේ ගමට ආවම මට දැනුනා,ඒ නිසා මේ ගමේ සියලු ප්‍රශ්න වට විසදුමක් විදිහට ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කරලා අක්කර 05 ක ඉඩමක් සමඟින් නිවසක් ඉදි කර දීමට අවධානය යොමු කරන බවද පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya