අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මඟින් කිසිඳු මාධ්‍ය සීමාවන් පැනවීමක් හෝ මර්දනයක් සිදු කෙරෙන්නේ නැහැ - ජනමාධ්‍ය ඇමති

    පෙබරවාරි 17, 2021

    මෙරට තුළ සිදු වන සංවර්ධන වැඩපිළිවෙලවල් පිලිබඳ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස්කර ගැනීමට අවශ්‍ය වන බවත්, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මඟින් කිසිඳු මාධ්‍ය සීමාවන් පැනවීමක් හෝ මර්දනයක් සිදු නොකෙරෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (17) ප්‍රකාශ කර සිටියේ ය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙලෙහි සංවර්ධන තතු ජනගත කරන ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය නිල වශයෙන් එළිදැක්වීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.


    මෙරට තුළ සිදුකෙරෙන යම් යම් සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් එල්ල වන විවේචන භාර ගත යුතු බවත් ඒවා නිකරුණේ බැහැර කිරීම නොව එමඟින් ගත හැකි උගත හැකි දේ භාර ගැනීමට සුදානම් විය යුතු බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කරන ලදුව එකී සංවර්ධනයන්, ඊට සම්බන්ධ වැඩපිළිවෙලවල් සහ ඒවාට ඇති බාධාවන්, මෙන්ම සංවර්ධන ක්‍රියාවලින් පිළිබඳව ජනතාවගේ අදහස් මෙන්ම ජනතාවගේ අදහස් වලට ගරු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය;

    “සංවර්ධන වැඩපිළිවෙලක් යනුවෙන් හැඳින්වුවොත් ඇතැමුන් එය ආණ්ඩුවකට ගැටගසනවා. එවැනි සංවර්ධන වැඩපිළිවෙලවල් ආණ්ඩුවකට ගැටගැසිය යුතු නැහැ. සංවර්ධනය යනු රටේ පුරවැසියාට සිදු කරන දෙයක්. එම පුරවැසියා කවර අයෙකු වුවත්, එම පුරවැසියාට සංවර්ධන වැඩපිළිවෙලවල් වලින් ලැබෙන ප්‍රතිලාභය පාට පක්ෂ වලට සම්බන්ධ කර විවේචන කිරීම නතර කළ යුතුයි.

    එනිසා, සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඒ සම්බන්ධව ජනතාවගේ අදහස් වලට ගරු කිරීම අපේ වගකීමක්. එකී වගකීම සපුරාලීම සඳහා අපට කරුණු එක්රැස් කිරීම මෙන්ම එකී අදහස් වලට පිළිතුරු සැපයීම මෙන්ම සත්‍යතාවය පිළිබඳව තතු දැනගැනීමට අවශයයි.” එමෙන්ම, යම් අදහසක්/යෝජනාවක් දේශපාලන මතයකින් සිතා බැහැර කිරීම හා එහි ඇතුලත් වන අන්තර්ගතය හා එහි පවතින සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයාබැලීම මෙන්ම, හුදෙක් දේශපාලන හේතුවක් මත ද යන්න තීන්දු කර ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම මෙවැනි මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්හ කිරීමේ වැදගත්කම බවත් රඹුක්වැල්ල මහතා මෙහි දී අවධාරණය කළේය.

    පසුගිය යුධ සමයේ දී ද ජාතික ආරක්‍ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කොට මෙරට පැවති යුධ වාතාවරණය පිළිබඳව වාර්තා කිරීම මෙරටට අහිතකර වාතාවරණයන් ඇති නොවන ආකාරයෙන් සිදු කිරීමට එවකට ද ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි අවධියේ දී තමන්ට කළ හැකි වූ බවත්, එය දේශපාලන වටපිටාවක් නොව එය රටේ පුරවැසියා ආරක්ෂා කර ගැනීමේ වගකීමක් වූ බවත්, එමඟින් ජාති ආගම පාට පක්ෂ නොව සමස්ත පුරවැසියා ආරක්ෂා කර ගැනීම බවත් ප්‍රකාශ කළේය. එකී අත්දැකීම් උපයෝගී කොට ගෙන ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීම මඟින් පුරවැසියා හා රාජ්‍ය පාලනය අතර පවතින සම්බන්ධකම හා තිබෙන අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමට මෙවලමක් වශයෙන් උපයෝගීකොට ගත හැකි බවත් මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ ඇතුළු උසස් නිළධාරීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya