මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන නගර වල මාර්ග තදබදය අවම කිරිම සදහා නියමිත පරිදි වටරවුම් නිර්මාණය කිරීම හා ආලෝක සංඥා පද්ධති ස්ථාපිත කිරිම සිදු කරනවා. - මහාමාර්ග අමාත්‍ය

    ජනවාරි 29, 2021

    ප්‍රධාන නගර වල මාර්ග තදබදය අවම කිරිම සදහා නියමිත පරිදි වටරවුම් නිර්මාණය කිරීම හා ආලෝක සංඥා පද්ධති ස්ථාපිත කිරිම මාස 06ක් ඇතුලතදී සිදු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    මොරටුව විශ්ව විද්‍යාලයේ අචාර්ය ඩිමන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ විද්වත් කණ්ඩායමක් සමග මාර්ග තදබදය අවම කිරිම සදහා අධ්‍යන වාර්තාවක් දැනටමත් සකස් කරමින් තිබෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි. මෙහිදී රථවාහන තදබදයට හා ඒවාට පිළියම් යෙදීම පිළිබදව මෙම අධ්‍යන වර්තාවෙන් වැඩි අවධානයක් යොමු කර ඇත.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා...

    විශේෂයෙන්ම කොළඹ, මහනුවර, කුරූණෑගල, ගාල්ල, මාතර, අනුරාධපුර, පුත්තලම, ත්‍රිකුණාමලය, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය ඇතුළු රටේ ප්‍රධාන නගර සියල්ලෙහිම වාගේ මෙම ව්‍යාපෘතිය සිදු කිරිමට නියමිතය. ජනතාවගේ ගමනා ගමන පහසුකම් වැඩි කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉක්මනින් රෝහලට, වැඩබිමට වගේම ඉක්මණින් තම තමන්ගේ කර්තව්‍යය කරගන්න පුළුවන් විදිහට, ගොවි ජනතාවගේ ගොවි නිෂ්පාදන ඉක්මනින් වෙළඳපලට ගෙනියන්න පුළුවන් යුගයක් තමයි අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කිසි සැකයක් තියාගන්න එපා. ප්‍රධාන මාර්ග විතරක් නෙවෙයි අතුරු මාර්ගත් සංවර්ධනය කරනවා.

    අපි වරාය විකුණන්නෙ නැහැ. ඒක අමු පට්ටපල් බොරුවක්. වරාය ගිවිසුම් ගහලා හිර කෙරුවේ ප්‍රේමදාස මහත්තයා නියෝජනය කරන කල්ලිය. ඒගොල්ලන්ගේ යහපාලන පහුගිය අවුරුදු පහේම මේ රට විනාශ කෙරුවා. ඔවුන් ගැට ගහපු ගැට තමයි රජයක් විදිහට අපි ලිහාගෙන යන්නෙ. රටේ ජනතාවට දෙන්න පුලුවන් වඩා හොද දේ අතිගරු ජනාධිපතිතුමා තීන්දු කරලා තියෙන්නෙ. පුලුවන් තරම් රටේ ජනතාවටත්, රටටත් ඔබින රටට හොද විදිහට තමයි සෑම ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක්. මම වරාය භාර අමාත්‍යවරයා වශයෙන් සිටින කාලයේ දීත් උද්ඝෝෂණ ක්‍රියාත්මක උනා. ඒක අලුත් දෙයක් නොවෙයි. හැබැයි හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ ප්‍රේමදාස මහත්තයගේ කල්ලිය එකතු වෙලා එදා විකුණනකොට මේ කෑගහන වෘත්තිය සමිති සිටියේ නිෂ්ශබ්දවයි. එදා මේවගේ සටන ගෙනිච්චා නම් හම්බන්තොට වරාය විකුණද්දී අද මේ වගේ තත්ත්වයක් උද්ගත වන්නේ නැහැ මේ රටේ. වරායේ කොටස් අපේ රටේ කොටස් වෙලදපොලේ ආයෝජනය කරනවා නම් හොදයි. ඒකේ වැරැද්දක් නැහැ. ඒක ඉතාමත් හොද දෙයක්. මේ වරාය විකුණන්නේ නෑ කියලා ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිබෙනවා.

    දැන් සමගි ජන බලවේගය අලුතෙන් නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන ආණ්ඩු බලය අල්ලනවා කියලා කියනවා. එදා සජිත් මහත්තයාව ලංකාව වටේ වගේම ලෝකේ වටෙත් අරං ගියෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව පරද්දන්න පුලුවන් එකම අපේක්ෂකයා එයා කියලනේ. නමුත් අවසානයේ දී චන්ද 1,400,000 කින් පැරදුනා. දැන් ඉතින් එතුමා වටේ ඉන්න පිරිසට තනතුරු ලබා දෙනවා. අපේ මේ අශෝක අබේසිංහ මහත්තයාට තනතුරක් ලැබුනා කියලා එතුමාට රාජ්‍ය බලය ගන්න පුළුවන්ද? එදා අශෝක අබේසිංහ මැතිතුමාට ඇමතිකමක් දීලත් මෙලෝ දෙයක් කරගන්න බැරි වුණා මේ දිස්ත්‍රික්කයට. සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ඇමතිකම අරගෙන නිවාස හදලා තිබෙන විදිහ දැක්කනේ අපි. සජිත් මහත්තයා, එතුමගේ නෝනගේ සැලුන් එකට රාජ්‍ය සේවකයෝ අරගෙන ගිහිල්ලා කොන්ඩේ කපපු හැටි දැක්කනේ අපි. සජිත් මහත්තයාට 2015දී රාජ්‍ය බලය දුන්නා. ඊට පසුව ජනාධිපති අපේක්ෂකත්වය දුන්නා. ඊට පස්සේ අගමැති අපේක්ෂකයා විදිහට එතුමාව ඉදිරිපත් කලා. ඒවායේ අවසන් ප්‍රතිඵලය කුමක්ද? ඒ නිසා ඔය තනතුරු ලබා දුන්නා කියන එක පොඩි මාධ්‍ය සංදර්ශනයක් විතරයි. සජිත් ප්‍රේමදාස කියන්නේ වන් මෑන් ශෝ කාරයෙක්. තාත්තා වගේම තමයි පුතත් එහෙමයි. ශෝ විතරයි. ඒ නිසා ඔවුන්ගේ දර්ශන අලුත් දෙයක් නෙවෙයි අපේ රටට.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ 2021-01-27 වන දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති කුරුණෑගල දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම අවස්ථාවට විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා ඇතුළු රාජ්‍ය ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya