මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති උපදෙසින් කොළඹ නගරයේ පැරණි වෙළඳපොළවල් සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි

    ජනවාරි 29, 2021

    * ප්‍රථමයෙන් ම වසර 45 ක් පැරණි කොල්ලුපිටිය වෙළඳ පොළ, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට පියවර.

    * පැරණි වෙළඳපොළවල් සංවර්ධනය කිරීම ගැන කොළඹ මහනගර සභාවේ සහ වෙළඳසැල් හිමියන්ගේ ප්‍රසාදය.

    කොළඹ නගරයේ පැරණි වෙළඳ පොළවල් මහජන සේවාවන් සපයන පහසුකම් රැසකින් යුත් වෙළඳ පොළ සංකීර්ණ වශයෙන් සංවර්ධනය කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙයි.

    ඒ අනුව මෙම වැඩසටහනේ ආරම්භයක් ලෙස 1976 වසරේ දී ආරම්භ කළ කොල්ලුපිටිය වෙළඳ පොළ, සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව තීරණය කරයි.

    මීට දශක 04 කට පමණ පෙර සුපිරි වෙළඳ සැල යනුවෙන් ද හැඳින්වෙන මෙහි වෙළඳසැල් හිමිකරුවන්ගේ ඉල්ලීම මත මෙම කොල්ලුපිටිය වෙළඳපොළ වර්තමානයට සහ අනාගතයට
    ගැලපෙන ලෙස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) මෙම සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර සිදු විය.

    අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ
    හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය රෝසි සේනානායක සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    එම ගිවිසුමට අනුව, කොල්ලුපිටිය නව බහු මහල් වෙළඳ සංකීර්ණය මහල් 40 කින් සමන්විත බහු මහල් ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීමට නියමිතයි.

    අක්කරයක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති කොල්ලුපිටිය වෙළඳපොළ ධර්මපාල මාවතට සහ ශාන්ත මයිකල් පාරට මැදිව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇත.

    කොල්ලුපිටිය වෙළඳ පොළ, කඩකාමර 90 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් වන අතර කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වන ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ කාලයේ ඉදිකර තිබේ. මෙම වෙළඳපොළ 1976 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි සමුළුවට පැමිණි ඇමරිකානු තානාපතිවරයා, එවකට අගමැතිව සිටි සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය කළ ආරාධනාව මත විවෘත කරනු ලැබීය.

    මේ වන විට අබලන් තත්වයක පවතින කොල්ලුපිටිය වෙළඳ පොළේ පළමු මහලේ පිහිටි මාළු කඩවල අපිරිසිදු ජලය සිමෙන්ති තට්ටුව හරහා බිම් මහලට කාන්දු වීමෙන් බිම් මහලේ රථගාලට හානි සිදුවේ.

    පළමු සැලසුමට අනුව, බිම් මහල රථගාල සඳහා සම්පූර්ණයෙන් ම වෙන්කර තිබී ඇති අතර, වෙළඳසැල් ප්‍රමාණය වැඩි වන විට බිම් මහලේ වෙළඳසැල් පැවතීම හේතුවෙන් බිම් මහලේ මේ වන විට නවතා තැබිය හැකි රථ වාහන සංඛ්‍යාව 25 ක් වැනි අවම ප්‍රමාණයකට සීමා වී තිබේ.

    මෙම වෙළඳ පොළේ ගනුදෙනු සඳහා විදේශිය පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමු වී තිබීම විශේෂත්වයකි. එසේ පැමිණෙන පාරිභෝගිකයන් අතර තානාපති කාර්යාලවල නිලධාරීන්,
    නිතීඥයින් ද සිටින බව වෙළඳ සැල් හිමියෝ පවසති. මේ හේතුව මත විදේශීය පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනිමට බලාපොරොත්තුව සිටි.

    ඊට අමතරව දේශීය පාරිභෝගිකයන්යින් ඉදිරියේ දී වැඩිපුර ගෙන්වා ගැනීමට ද ක්‍රියා කළ යුතු බව එම වෙළඳ සැල් හිමියෝ ප්‍රකාශ කරති.

    විදේශීය ජාතිකයින් වැඩිපුර මෙම වෙළඳපොළට පැමිණීමට හේතුව ලෙස වෙළඳුන් දක්වනුයේ කොල්ලුපිටිය සුපිරි වෙළඳපොළ තුළ පාරිභෝගිකයන් ඉල්ලන සේවාවන් නිසි පරිදි සහ එළවළු, පළතුරු යනාදිය නැවුම්ව සැපයීමට ඔවුන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියා කිරීම බවයි. ඔවුන්ට තව තවත් පහසුකම් සැලසීම සඳහා මෙම වෙළඳපොළ නවීකරණය වීම වඩාත් යහපත් බව මෙම වෙළඳ සැල් හිමියෝ ප්‍රකාශ කරති.

    සිල්ලර වෙළඳාම පමණක් සිදුකරන මෙම නාගරික වෙළඳ පොළට දිනකට 1500 ත් 2000 ත් අතර පාරිභෝගිකයින් පිරිසක් පැමිණෙන අතර දිනක සිල්ලර වෙළඳාම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බව වෙළඳසැල් හිමියෝ පෙන්වා දෙති.

    තවද මෙම නාගරික වෙළඳ පොළේ සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමක පවතී. අවශ්‍ය මුළු වැසිකිළි ගණන 15 ක් වුවත් දැනට ඇත්තේ වැසිකිළි 08 ක් පමණි. ඒ අතර කොවිඩ් - 19 රෝග තත්වය පාලනය කිරීමෙහි ලා පිහිටුවා ඇති කොවිඩ් - 19 පාලන කමිටුව මහත් වූ කාර්යභාර්යයක් ඉටු කරමින් පවතී.

    මහල් 40 ක බහු මහල් මිශ්‍ර වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට තීරණය කරන ලද්දේ පවතින වෙළඳ පොළට වඩා වැඩි දියුණු වෙළඳ පොළක් ඇතිකර ගැනීමේ අරමුණින් කොල්ලුපිටිය නාගරික වෙළඳ පොළ සංවර්ධනය කරන ලෙස වෙළඳසැල් හිමියන් කළ ඉල්ලීමට අනුව ය.

    ඉදිකිරීමට යෝජිත කොල්ලුපිටිය බහුමහල් වෙළඳ සංකීර්ණය සියළු නවීන පහුසකම්වලින් සමන්විත වන අතර, මහජනතාවට එදිනෙදා අවශ්‍ය සියළු අවශ්‍යතා එමඟින් සපුරා ගැනීමට අවස්ථාව ද හිමිවෙයි. එම යෝජිත වෙළඳ සංකීර්ණය තුළ නිවාස සංකීර්ණ, කාර්යාල සංකීර්ණ, සාප්පු සංකීර්ණ, වාහන රථගාල්, උත්සව ශාලා, අවන්හල් සහ වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසුකම් ලබා දීමට නියමිත වේ.

    කොල්ලුපිටිය වෙළඳපොළ බහු මහල් මිශ්‍ර වෙළඳ සංකීර්ණයක් දක්වා වැඩි දියුණු කිරීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් වෙළඳපොළ තුළ දැනට වෙළදාම් සිදු කරන වෙළඳ සැල්
    හිමියෝ දැඩි ප්‍රසාදය පල කරති.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
    උපදෙස් මත ඉදිවන කොල්ලුපිටිය නව බහු මහල් වෙළඳ සංකීර්ණය නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක
    ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද
    සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස ලලිත් විජේරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් හා සම්බන්ධිකරණයෙන් කොල්ලුපිටිය වෙළඳපොළ බහුමහල් මිශ්‍ර වෙළඳ සංකීර්ණයේ කටයුතු කොළඹ මහ නගර සභාව සමඟ එක්වෙමින් ඉදිකිරීමට නියමිතයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya