මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ලඟා කර ගැනීම සඳහා කැප වන බවට නාවික හමුදාව ප්‍රතිඥා දෙයි

    ජනවාරි 03, 2021

    උදා වූ 2021 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් (ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

     

    දේශය වෙනුවෙන් දිවි කැප කළ වීරෝධාර රණවිරුවන් සහ සියළු පුද්ගලයින් සිහි කිරීම සඳහා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව නව වසර සඳහා රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි. ඒ අනුව, එකම රටක් එකම දැයක් එක කොඩියක් සෙවනේ එක්සත්ව සහ එක්සිත්ව විකසිත වන සුරක්‍ෂිත වූ අපගේ මාතෘ භූමිය තුළ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරි කරගත් විනයගරුක, නීතිගරුක, ගුණගරුක සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීමටද තිරසර පරිසර කළමණාකරණය මුල්කොටගත් භෞතික සම්පත් සංවර්ධනය තුළින් 2021 වර්ෂයේ දී ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් බිහි කිරීමටද නූතන තාක්‍ෂණයෙන් සන්නද්ධ සශ්‍රීක මානව සම්පත මෙහෙයවන පිරිසිදු රාජ්‍ය පාලනයක කොටස්කරුවෙකු ලෙසින් රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහිලා පැවරෙන්නාවූ කාර්යභාරය කාර්යක්‍ෂමව හා සඵලදායී ලෙස උපරිම අධිෂ්ඨානයෙන් කැපවීමෙන් සහ අවංකභාවයෙන් ඉටු කිරීමට කැපවන බවට එහිදී සියලුම නාවික හමුදා පුද්ගලයින් ප්‍රතිඥා දෙමින් ප්‍රකාශ කරන ලදී.

     

    මෙම අවස්ථාවට සහභාගී වූ නාවික හමුදා පුද්ගලයින් අමතමින් ප්‍රථමයෙන්, ලැබුවා වූ 2021 නව වසර නීරෝගීමත්, සෞභාග්‍යමත් හා ප්‍රීතිමත් වසරක් වේවායි සියළු දෙනා වෙත සුභ පැතුම් පිරිනැමූ නාවික හමුදාධිපතිතුමන්, රජයේ සෞභාග්‍යයේ දැක්ම කරා ළඟාවීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීම සඳහා පවත්නා වසංගත තත්වය තුළ ඇති වී ඇති නව සාමාන්‍යකරණය යටතේ ස්වකීය නිරෝගී යහපැවැත්මට මුල්තැන දෙමින් හා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කැපවීමෙන් කටයුතු කිරීම සෑම නාවික පුද්ගලයෙකුගේම වගකීම බව පවසන ලදි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැකවූ නාවික හමුදාධිපතිතුමන් ඉදිරියේදී නාවික හමුදාවේ නෞකා බලඇණියට එකතුවීමට නියමිත නව නෞකා සමගින් පුළුල්වන නෞකා බලඇණිය උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව යොදවමින්, නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය ඉටුකිරීම සඳහා, උනන්දුවෙන් කැපවීමෙන්, සාමූහික වගකීමෙන් සහ උපරීම කළමණාකාරීත්වයෙන් යුතුව කටයුතු කිරීම සෑම නාවික පුද්ගලයෙක් වෙතින්ම අපේක්‍ෂා කරන බව අවධාරණය කරන ලදි.

     

    කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වන ලද රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීමේ මෙම අවස්ථා‍ව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා , නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්‍වරුන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ ‍නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගි වී සිටියහ. එමෙන්ම මීට සමගාමීව සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදා සාමාජිකයින් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya