මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      රටේ සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතුයි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  

    ඔක්තෝබර් 02, 2020

    සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  01 දින පැවැසීය.


    කොළඹ සහ මහනුවරට පමණක් දැනට සීමාවන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී  ඇතැයි අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.
    ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීමට සමඟාමීව මහල් නවයකින් යුතු දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල් ගල තැබීම සහ ඇට මිඳුළු බද්ධ කිරීමේ  ඒකකය හා නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවැසීය.
    ගරු අග්‍රාමාත්‍යතුමා හා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ට ත්‍යාග ප්‍රදානය කළහ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල ‍වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම සහ ඩිජිටල් සායන ක්‍රම ස්ථාපනය කිරීමද ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සිදුවිය.  හෙද නිලධාරී ජී.එච්.ජේ.හේවගේ මහත්මිය විසින් රචිත කළුවර අහසට සඳ පායලා කෘතිය ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීම හා ලිට්ල් හාට් අරමුදලට සුජිකල් නිෂ්පාදන පෞද්ගලික  ආයතනයේ සභාපති කලන හේවා මල්ලිකා මහතා විසින් රුපියල් ලක්ෂ හතක මුදලක් පරිත්‍යාග කිරීම මෙම උත්සවයට සමගාමීව සිදුවිය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ද කීවේය.

    “රාජ්‍ය ළමා දින සැමරුම් උත්සවය එක්ක ළමා රෝහලට එන්න පුළුවන්වීම ගැන මම සංතෝෂ වෙනවා. අද විශේෂඥ වෛද්‍යවරු එකතු වෙලා රෝහල් අධ්‍යක්ෂකතුමාගේ උනන්දුව ඇතුව,  කාර්යය මණ්ඩලයේ උනන්දුව ඇතුව, ශෛල්‍යගාර දෙකක් විවෘත කරන්න ලැබුණා. මම හිතන්නේ ඒ තුළින් විශාල සේවයක් සිදු වෙනවා.

    දැනට ළමා රෝහල් තියෙන්නේ දෙකයි. ඒ මෙහෙත්, නුවරත්. ළමා රෝහල් අඩු ගානේ එක පළාතකට එකක් වශයෙන්වත් සකස් විය යුතු යැයි අපේ රජය තරයේ විශ්වාස කරනවා. කෙසේ  වෙතත් අද දරුවන්ගේ නිරෝගීකම වැදගත්. දරුවෝ තමයි අනාගතයේ අපේ රට භාර ගන්න ඉන්න නායකයින්. දරුවන් ආරක්ෂා කිරීම අපේ කාර්යය භාරයක් වෙනවා.

    පාසල්වලට අපේ විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහත්මයා කැද දෙන්න සූදානම් වෙලා තියෙනවා. අපිත් අධ්‍යාපන ඇමතිතුමාට යෝජනා කරනවා සෑම දරුවෙකුටම කැද වීදුරුවක් වගේ ශක්තිමත්  පානයක් ලබාදීමට පියවර ගන්න කියලා. අපේ කාලය තුළදී දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අපි කටයුතු කරන්න සූදානම් බව මතක් කළ යුතුව තියෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකතුමා, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට මේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා.
    මේ මොහොතේදී ඔවුන්ගේ විශිෂ්ට සේවය මම අගය කරනවා. ඔබ අතින් ඉටුවන්නේ අපේ අනාගත පරපුර රැක ගැනීමේ කාර්යය භාරය” යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, රිජ්වේ ආර්යා  ළමා රොහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළ වෛද්‍ය කාර්යය මණ්ඩල මහත්ම මහත්මීන් හා දෙමාපිය දූ දරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම  අවස්ථාව සඳහා එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya