මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට කැප වෙනවා- ජනපති ජෛව විවිධත්වය පිළිබඳ සමුළුවට කියයි.

    ඔක්තෝබර් 01, 2020

    ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශ්‍රි ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ හමුවක් අමතමින් කියා සිටී.


    යුනෙස්කෝව ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරය හා සිංහරාජ වැසි වනාන්තරය ස්වභාවික උරුමයන් ලෙස නම් කර ඇත. තවත් ස්ථාන 06ක් තෙත් භූමි පිළිබඳ “රම්සාර් ප්‍රඥප්තියෙන්” පිළිගෙන තිබේ. අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායක වන මේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරිමේ භාරකරු ලෙස වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කොන්ද්‍ර කොටගෙන සංවිධාන කළ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් (30) රාත්‍රී 7.30 ට අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    “තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ග” සමුළුවේ තේමාවයි. මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් මහතා ප්‍රථම දේශනය කළේය.

    ජෛව විවිධත්වය පරිහානියට යාමෙන් මානව වර්ගයා මුහුණ දෙන විපත් සහ තිරසාර සංවර්ධනය අත්කර ගැනිමට ජෛව විවිධත්වය පිළිබඳ කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව සමුළුව අවධාරණය කරයි. 2021 දී පැවැත්වෙන ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 15 වන සමුළුවේදී සම්මත කර ගැනීමට නියමිත, 2020 පශ්චාත් ගෝලීය ජෛව විවිධත්ව රාමුව වැඩිදියුණු කර ගැනීම සඳහා අදහස් හුවමාරු කර ගැනීමට ලෝක නායකයන්ටඅවස්ථාව සලසා තිබේ.

    2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ හරය විය යුත්තේ ජෛව විවිධත්වය පිළිබඳ සංකල්පය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මෑත දශක කිහිපය තුළ ගෝලීය ජෛව විවිධත්වයේ ඇති වූ සීග්‍ර පරිහානිය මධ්‍යයේ වුවද ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ විස්තීර්ණ ජීව ගුණය රැක ගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැපවන බවද ජනාධිපතිතුමා පැවසීය. සොබා දහම සහ මිනිසුන් අතර සබඳතාවය සහ සමකාලීන ගෝලීය පාරිසරික පාලනය අතර පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ‘නිල් ප්‍රඥප්තිය’ 2018 දී පිළි ගත්තේය. ඒ අනුව කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය ‘නිල් ප්‍රඥප්තියේ’ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය සැපයේ. තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය පසුගිය වසරේදි සම්මත විය. ලෝක නායකයන් වශයෙන් මානව වර්ගයාගේ තිරසාර පැවැත්ම තහවුරු කරමින් වඩා ප්‍රශස්ත අයුරින් නයිට්‍රජන් කළමනාකරණය කළයුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    “පාලකයා කිසිවිටෙකත් දේශයේ හිමිකරු නොව හුදෙක් තම රටවැසියන් සහ සියලුම ජීවීන් වෙනුවෙන් එහි භාරකරුපමණක්ය” යන සංකල්පය මත ශ්‍රී ලංකාවේ පුරාණ පාලන ක්‍රමය ගොඩනැගී තිබිණ. සංවර්ධන න්‍යාය පත්‍රය තුළ තම රජය අනුගමනය කරනුයේ එම මූලධර්මය බව ජනාධිපතිතුමා පැවසීය. පෘථිවියෙහි සහ එහි සම්පත්වල හුදු භාරකරුවන් වශයෙන් හැකි උපරිමයෙන් තම ආරක්ෂාව යටතේ ඇති දෑ රැක ගනිමින් අනාගත පරපුරට භාරදීමට අධිෂ්ඨාන කරගතයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

     

    ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව

    ගරු සභාපතිතුමනි,
    ගරු මහලේකම්තුමනි,
    මැතිඳුනි,
    ගෞරවනීය නියෝජිතවරුනි,

    ආයුබෝවන් !
    ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවේ ජනතාව නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි. 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ හරය විය යුත්තේ ජෛව විවිධත්වය පිළිබඳ සංකල්පයයි. මෑත දශක කිහිපය තුළ ගෝලීය ජෛව විවිධත්වයේ ඇති වූ සීඝ්‍ර පරිහානිය මධ්‍යයේ වුවද ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ විස්තීරණ ජීව ගුණය රැකගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැප වී සිටින්නීය.
    සොබාදහම සහ මිනිසුන් අතර සම්බන්ධතාව සහ සමකාලීන ගෝලීය පාරිසරික පාලනය අතර පරිවර්තනීය වෙනසක් කිරීමෙහි තීරණාත්මක අවශ්‍යතාවක් පවතී.

    ගරු මැතිඳුනි, ගෞරවනීය නියෝජිතවරුනි,
    පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය “නිල් ප්‍රඥප්තිය” (Blue Charter) 2018 දී පිළිගත් අතර ඒ අනුව කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය “නිල් ප්‍රඥප්තියේ” ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය සපයන්නෙමු.

    තවද, තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය පසුගිය වසරේදී සම්මත විය. ලෝක නායකයන් වශයෙන්, මානව වර්ගයාගේ තිරසාරත්වය තහවුරු කරමින් වඩා ප්‍රශස්ත ආකාරයෙන් අප නයිට්‍රජන් කළමනාකරණය කළ යුතු වන්නෙමු.
    ශ්‍රී ලංකාව යුනෙස්කෝ ස්වභාවික උරුමයන් දෙකකට : මධ්‍යම කඳුකරයට හා සිංහරාජ වැසි වනාන්තර රක්ෂිතයට නිජ භූමිය වෙයි. අපේ තවත් ස්ථාන හයක් තෙත් භූමි පිළිබඳ රම්සාර් ප්‍රඥාප්තියෙන් පිළිගැනීමට ලක්ව ඇත.
    අපේ අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයට දායක වන මේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීමට හා තිරසාර ලෙස කළමනාකරණයට ශ්‍රී ලංකාව තරයේ කැප වී සිටී.
    නගර සහ නාගරික ප්‍රදේශ ප්‍රතිනිර්මාණය කිරීමේදී පවා හැකි උපරිම ආකාරයට පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම කෙරෙහි අපි සැලකිලිමත් වූයෙමු. නගර මධ්‍යයේ කුඩා වැසි වනාන්තර අත්දැකීමක් ජනිත කරමින් නගරවල විශේෂයෙන් අපගේ අග නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා ඒ අවට අප විසින් නිර්මාණය කර ඇති තෙත් බිම් උද්‍යාන විවිධ පැළෑටි හා සත්ව විශේෂ රාශියක නිජ භූමිය වේ.
    ශ්‍රී ලංකාවේ පුරාණ පාලන ක්‍රමය ගොඩනැගී තිබුණේ පාලකයා කිසි විටෙකත් දේශයේ හිමිකරු නොව හුදෙක් තම රටවැසියන් සහ සියලුම ජීවීන් වෙනුවෙන් එහි භාරකරු පමණක්ය යන සංකල්පය මතය.
    අපගේ සංවර්ධන න්‍යාය පත්‍රය තුළ මගේ රජය අනුගමනය කරන මූලධර්මය මෙයයි.


    ගරු මැතිඳුනි, ගෞරවනීය නියෝජිතවරුනි,
    මේ පෘථිවියෙහි සහ එහි සම්පත්වල හුද භාරකරුවන් වශයෙන් අපට හැකි උපරිමයෙන් අපගේ ආරක්ෂාව යටතේ ඇති දෑ රැකගනිමින් අනාගත පරපුරට භාර කිරීමට අප අධිෂ්ථාන කරගත යුතුය.

    ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya