මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලා රාජ මහා විහාරය, අටමස්ථානය හා තන්තිරිමලේ රාජ මහා විහාරස්ථාන පෙරටුව පොසොන් පිංකම්

    ජූනි 05, 2020

    අනුබුදු මිහිඳු මහ නා හිමියන් මෙරටට වැඩම කර වසර 2328 ක කාලයක් ගතව තිබේ. එම උතුම් සිදුවීම සිහිකරමින් සෑම වසරකම රට පුරා පිංකම් පැවැත්වේ. මිහින්තලා රාජ මහා විහාරය, අටමස්ථානය හා තන්තිරිමලේ රාජ මහා විහාරස්ථාන ආදීය පෙරටුව මහ ඉහළින් පොසොන් පිංකම් සිදු කරන කේන්ද්‍රස්ථානය වන්නේ අනුරාධපුරය යි.

    මෙම වසරේ පොසොන් උත්සව තේමාව ලෙස “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් සඳහන් කර තිබේ. නීරෝගිකම පරම ලාභය බව හොඳින්ම වටහාගත යුතු කාලයකි, මේ ගෙවෙමින් පවතින්නේ. එම නිසා තේමාව ඉතා කාලෝචිත එකකි. ජුනි මස 02 වනදා සිට 08 වනදා දක්වා පොසොන් සතිය නම්කර ඇත.

    පොසොන් පුර පසොලොස්වක පොහොය ජුනි මස 05 වනදාට යෙදේ. එදිනටම ලෝක පරිසර දිනය ද යෙදී තිබීම විශේෂත්වයකි. කොරෝනා වෛරසයත් සමඟ පරිසරය පිළිබඳි බහුලව කතා කරන කාලයක ලෝක පරිසර දිනයත්, පොසොන් පොහොයත් එකම දිනයේ යෙදී තිබීම බුදු දහම හා පරිසරය පිළිබඳව සමීප සම්බන්ධය ගැන කතා කරන්නට සැපයූ කාලීන උත්තේජනයකි.

    බුදුන් වහන්සේ තරම් පරිසරය පිළිබඳ දේශනා කර ඇති වෙනත් ශාස්තෘවරයෙකු නොමැති තරම් ය. පරිසරය සුන්දරව පවත්වා ගැනීම ජීවීන්ගේ සුන්දරත්වයට හේතුවන බව බුදු වදනයි. අසීමිත දයානුකම්පාවෙන් හා පරිත්‍යාගශීලීත්වයෙන් යුත් අපූරු ජීවියෙකු යැයි, බුදුන් වහන්සේ පරිසරය වර්ණනාකර තිබේ.

    මෙවර පොසොන් සැමරුම පරිසරය පිළිබඳව කතා කරන්නට මහා ඉඩ හසරක් විවරකර දී තිබේ. වෙන වසරවල අනුරාධපුරයට රටේ සතර අතින් පැමිණෙන බැතිමතුන්ට එම ඉඩ මෙවර ලැබෙන්නේ නැත. එහෙත් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් නොඅඩුව ඒ ඒ සිද්ධස්ථානවල සිදුකිරීමට සියලු කටයුතු දැනටමත් සූදානම් වෙමින් පවතී. එහෙත් මෙම ආගමික වතාවත් උදෙසා විශාල පිරිසකට රිසි සේ සහභාගි වීමට අවස්ථාවක් නැත. කලින් හඳුනාගත්, සීමිත පිරිසක් යොදාගෙන ඒ ඒ සිද්ධස්ථානවල ආගමික වතාවත් සිදු කරනු ඇත. එහිදී සෞඛ්‍ය අංශයන්ගේ සහය ඇතිව දුරස්ථභාවය රැක ගනිමින්, ක්‍රියාත්මක වන ආකාරයට ආගමික කටයුතු සංවිධානය කෙරේ. පොසොන් පිංකම් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කරන්නේ, අනුරාධපුර ප්‍රධාන සිද්ධස්ථානවල පමණක් නොව සෑම බෞද්ධ සිද්ධස්ථානයකම පාහේ විවිධ පිංකම් සංවිධානය වන බවයි. බැතිමතුන්ට පැමිණීමට ඉඩක් නැතත්, තම නිවෙස්, පොදු ස්ථාන ආදියෙහි සැරසිලි කටයුතු සිදුකිරීමට කිසිදු බාධාවක් නොමැති බවඳ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටී.

    මෙවර පොසොන් ප්‍රධාන උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස සිදුකරන්නේ මිහින්තලා රාජමහා විහාරස්ථානයේ දී ය. එහිදී ජුනි මස 4, 5 හා 6 යන තෙදින තුල විවිධ පිංකම් පැවැත්වේ. ජුනි 04 වනදා
    මිහින්තලා ආලෝක පූජාව විවෘත කරන්නේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යි. සුපුරුදු පරිදි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් ලබා දේ. ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සම්බන්ධිකරණය කරන කලා කරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන බොදු බැති ගී වැඩසටහන හතර වනදා සවස 7.00 ට ආරම්භ වේ.

    පොසොන් පොහොය යෙදෙන ජුනි 5 වනදා අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිහින්තලා පුදබිමට පැමිණීමට නියමිත යි. එදිනට සර්වඥ ධාතූන් වහන්සේලා හා අනුබුදු මිහිඳු මාහිමි ධාතු
    වන්දානාව ද සිදුවන බව පොසොන් කමිටුවේ දී මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමි සඳහන් කළේ ය. පරිසර දිනය නිමිති කරගෙන අතිගරු ජනාධිපතිතුමා අතින් මිහින්තලා පුදබිමේ දී රුක් රෝපණයක් ද පොසොන් දා සවස සිදු වේ. ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථාන භූමිය ජාතික උරුමයක් බවට පත් කිරීම පිළිබඳ සන්නස අතිගරු ජනාධිපතිතුමා විසින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීම ද එදිනට සිදුවනු ඇත. පොසොන් රාජ්‍ය උත්සවය සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ද කටයුතු යොදා තිබේ.   ආලෝක පූජාව විවෘත කෙරෙන්නේ අතිගරු ජනාධිපතිතුමා අතිනි.

    පොසොන් දිනට පසු දින ද මිහින්තලාවේ දී විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මිහින්තලාවේ මෙන් ම රුවන්වැලි මහ සෑය අභියස ද සීමිත පිරිසක් සිල් සමාදන් කරවීමට කටයුතු යොදා ඇත. එම සංඛ්‍යාව 250 කට පමන සීමා කෙරේ. එවිට දුරස්ථභාවය පවත්වා ගැනීමට ඕනෑ තරම් ඉඩකඩ පවතී. සිල් පිරිසට උපකාර කිරීමට අවශ්‍ය පිරිස් දැනටමත් නම්කර සිටී. රුවන්වැලි මහ සෑය අභියසදී පොහෝ දා උදෑසන 8.30 ට විශේෂ ධර්ම දේශනාවකි. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නා හිමිපාණන් විසින් එම දම් දෙසුම පවත්වනු ඇති. සවස 3.00 ට ධර්ම සාකච්ජාවක් ඇරඹේ. කොරෝනා
    වෛරසයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරන අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයටත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ සුව විරුවන්ටත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සැමටත්, ලංකා වාසී, ලෝක වාසී සියලු දෙනාටත් ආශිර්වාදය ප්‍රාර්ථනය කිරීමට විශේෂ අධිෂ්ඨාන පූජාවක් පොහෝ දා සවස 5.00 ට රුවන්වැලිසෑය අභියස දී ම පැවැත්වේ.

    ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස ද, සුපුරුදු පරිදි පොහෝ දා සවස් වන තෙක්ම විවිධ ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ පැවසූහ. ආලෝක පූජාවද සහිතව තන්තිරිමලේ පුද බිමෙහි ද ජුනි මස 4, 5 හා 6 යන දිනයන් හි ආගමික වතාවත් පැවැත්වේ. එහිදී බැතිමතුන්ගේ පැමිණී සීමා කිරීමට පියවර ගෙන තිබේ. පොසොන් සතිය පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් හා මස් කඩ වසා තැබීමට පියවර ගෙන ඇත. එමෙන්ම බැතිමතුන් නොපැමිණෙන නිසා කිසිදු දන්සලක් මෙවර නොපැවැත්වේ. එහෙයින් එම දන්සල් පැවැත්වීමට වැය කරන මුදල් කොවිඩ් අරමුදල වෙනුවෙන් සැපයිය හැකිනම් එය කාලෝචිත ඉමහත් වටිනා පුණ්‍ය ක්‍රියාවක් බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි කියා සිටී.

    ඓතිහාසික පැන් පෙරහැර, සති පිරිත් පිංකම ආදිය හැරෙන්නට, ජන සහභාගීත්වය අවම මට්ටමේ තබාගෙන හෝ පොසොන් උත්සවයේ සියලු ආගමික වතාවත් මෙවර ද ක්‍රියාත්මක වේ. එම වැඩසටහන් නිවෙස්වල සිට අසා, දැක බලා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල මාධ්‍ය ආයතන සමඟ එක්ව සංවිධානය කර ඇතැයි, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙර්රා මහතා සඳහන් කළේ ය. කොරෝනා වෛරසයෙන් බොහෝ රටවල ජනතාව අතිශය පීඩා විදින කාලයක ශ්‍රී ලංකාව එය මනාව පාලනය කරගෙන තිබේ. එම සුබවාදී තත්ත්වයට සහය දක්වමින් රජය ලබාදෙන නිවේදන, උපදෙස්

    අනුකූලව නිවසේ සිට ආගමික වතාවත් සිදුකරමින් පොසොන් සමරන ලෙස මහා සංඝරත්නය මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු පොසොන් පිංකම් කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    DMU/Anuradhapura

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya