මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුවට සුවිශේෂි කාර්‍යභාරයක් ඉටු කිරීමට හැකි වූණා- අටවැනි පාර්ලිමේන්තුවේ කථානායක

    මාර්තු 07, 2020

    ගත වූ වසර හතර හමාරක කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුවට සුවිශේෂි කාර්‍යභාරයක් ඉටු කිරීමට හැකි වූ බව අටවැනි පාර්ලිමේන්තුවේ  කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.


    ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ලෙස ලොව පුර ගෞරවාදරයට පාත්‍ර වී ඇති බව පාර්ලිමේන්තු සංකීර්ණයේදී (06) පැවැති උත්සවයකට සහභාගී වෙමින් හෙතම පැවසීය.
    අටවැනි පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් යන මහත්වරුන් වෙත උපහාර පිරිනැමීමට මෙම උත්සවය පැවැත්වුණි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරූ ජයසූරීය මහතා පැවසුවේ, අභියෝගවත් කාල සීමාවන්හිදී පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය ලබාදුන් සහය කෘතවේදිත්වයෙන් යුතුව සිහිපත් කරන බවයි. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා මගින් සුවුශේෂි කාර්‍යභාරයක් ඉටුවෙන බවත්,ඒවා ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතු බවත්, එතුමා පැවසීය.පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරත් සමග ඇතිවූ ජාතිවාදී ගිනිදැල් නිවා දැමීමට පාර්ලිමේන්තු කාරක සභා විශාල දායකත්වයක් සැපයු බවද හෙතෙම පෙන්වා දුන්නේය. සිය රාජකාරි ඉටු කිරීමේදී ලබාදුන් සහය වෙනුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරීමටද එතුමා කටයුතු කළේය.


    “මම විශ්වාස කරනවා මම මේ ධූරයට ආවේ පිරිසිදු දෑතින් වගේම සමුගෙන යන්නෙත් එලෙසින්මයි. දේශපාලනයට එන සියළු දෙනාටම නොකිලිටිව කටයුතු කළ හැකි නම් අපේ රට මෙයට වඩා වාසනාවන්ත වේවි. ඒ සඳහා මීලඟ පාර්ලිමේන්තුව ගැන මාගේ පැතුම නම් ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් දක්නට ලැබේවා කියන එකයි”.
    ”විශේෂයෙන් මා වෙනුවෙන් මිරිස් කුඩු ප්‍රහාරයන්ට මුහුණදුන් නිලධාරීන් ආරක්ෂා කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා පාර්ලිමේන්තු ක්‍රමයේ ගෞරවයයි.අපි කණ්ඩායමක් විදියට වැඩ කළා. කීර්තියක් ගෞරවයක් ලැබුණා නම් සාර්ථකත්වයක් අත්පත් කර ගත්තා නම් එහි ගෞරවය සියළුදෙනා සමග බෙදා ගන්න කැමතියි” යැයිද කරූ ජයසූරීය මහතා පැවසීය.


    මෙහිදී අදහස් දැක්වූ අටවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, ගතවූ කාලය තුළ ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ මූලධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැදගත් කාර්‍යභාරයක් ඉටු කළ බවයි.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීමට හැකිවීම ලැබූ ජයග්‍රහණයක් බවද එතුමා පැවසීය. තම ධූරයේ කටයුතු කිරීමේදී ලබා දුන් සහය වෙනුවෙන් කථානායකතුමා , නියෝජ්‍ය කථානායකතුමා ,පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලයට සිය ස්තුතිය පළ කරන බව අටවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා සභාව අමතමින් පැවසීය.


    පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සුරකමින්, ගුණාත්මක පාර්ලිමේන්තුවක් ඇති කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් සිය කෘතවේදීත්වය අටවැනි පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමන්ට, නියෝජ්‍ය කථානායකතුමන්ට හා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමන්ට පළ කරන බව, උත්සවය ඇමතු පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ සුභ සාධනය වෙනුවෙන් ගත වූ කාලය තුළ ඉතා වැදගත් කාර්‍යභාර්‍යක් ඉටු කිරීමට සමත් වූ බවද හෙතම පැවසීය.


    අටවැනි පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් යන මහත්වරුන් වෙත උපහාර තිළිණ පිරිනැමීම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල,සහකාර මහ ලේකම් කුෂාණී රෝහණධීර ,සහකාර මහ ලේකම් ටිකිරි කේ.ජයතිලක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතාද උත්සව සභාව ආමණ්ත්‍රණය කළේය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya