මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සංවර්ධිත රටවල් හා සංසන්දනයේ දී අප රටේ සජීවි දරු උපත් 1000 කට ළදරු මරණ 08 ක්- සෞඛ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 25, 2020

    “සංවර්ධිත රටවල් හා සංසන්දනයේ දී අප රටේ සජීවි දරු උපත් 1000 කට ළදරු මරණ 08 ක් පමණ වන බවත්, උපත් ආබාධ හා ආබාධිත තත්ත්වයන් පාලනයට කාන්තාවන් සහ දෙමාපියන්ට පූර්ව අවබෝධය ලබාදීම සහ උපදේශනය ලබාදීම ද ඉතා වැදගත්” බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

    සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් ආබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබද 09 වන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය “සැමට සෞඛ්‍ය, උපත් ආබාධ වැළැක්වීමට සහ සත්කාර ක්‍රමවේද වේගවත් කරමු” යන්න තේමා කර ගනිමින් 23 දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විනි.

    ලබන 26 දින දක්වා මෙම සමුළුව පැවැත්වෙයි. මෙම සමුළුවේ විෂය ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් වන අතර, ළදරු මරණ අඩු කිරිම අතින් අප රට ලබා ඇති ප්‍රගතිය විදහා දැක්වීමටත්, ළදරු මරණ වලට ප්‍රධාන හේතු 02 වන නොමේරු උපත් සහ උපත් ආබාධ පිළිබද දැනුම වර්ධනය කර ගැනීමටත් මෙම සමුළුව වැදගත් වේ.

    මෙම සමුළුවේ සමාරම්භක උත්සව අවස්ථාවට එක් වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “සැම දෙමාපියෙක්ම සෞඛ්‍ය සම්පන්න, නිරෝගී දරු උපතක් බලාපොරොත්තු වෙනවා. නමුත් උපත් ආබාධ සහිතව දරුවන් බිහි වෙනවා. සෞඛ්‍ය සේවාවන් සැපයීමේ දී උපත් ආබාධ දියුණු වෙමින් පවතින රටවලට විශාල බරක් වෙනවා. ආබාධ සහිතව උපදින සෑම දරුවෙක්ම හදුනාගත යුතු වන අතර, ඔවුන් ප්‍රකෘති තත්ත්වයට ගෙනඒ්ම සදහා සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු වෙනවා. උපත් ආබාධ සහිතව සිදු වන දරු උපත් වළක්වා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හා ප්‍රතිපත්ති සම්පාදනයට කටයුතු කළ යුතු වෙනවා. එහිදී කාන්තාවන් සහ දෙමාපියන්ට මීට අදාලව පූර්ව අවබෝධය ලබාදීම සහා උපදේශණය ලබාදීම ද ඉතා වැදගත් වෙනවා. පසුගිය දශක කිහිපය තුල අප රට තුල ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම තුල ළදරු මරණ අනුපාතය අවම කර ගැනීමට හැකිවී තිබෙනවා. සංවර්ධිත රටවල් හා සංසන්දනයේ දී අප රටේ සජීවි දරු උපත් 1000 කට ළදරු මරණ 08 ක් පමණ වන බව වාර්තා වෙනවා. උපත් ආබාධ වැළැක්වීම සදහා ලෝකයේ විවිධ රටවල ඉතා හොද ප්‍රතිකාර ක්‍රම තිබෙන බව මට දැනගන්නට ලැබුනා. මේ සම්මන්ත්‍රණය හරහා එවැනි විද්‍යාත්මක සාක්ෂි එකිනෙකා අතර හුවමාරු කර ගැනීමටත්, රට රටවල් අතර සිදු කරන සෞඛ්‍ය දත්ත හුවමාරු කර ගනිමින් උපත් ආබාධ වලින් තොර දරු පරපුරක් බහි කිරිමට අවශ්‍ය කඩිනම් විසදුම් ලබාගැනීමට හැකි වනවා.”

    දරුවන්ගේ උපත් ආබාධ වළක්වා ගැනීම එබදු දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සහ ඔවුනට ගුණාත්මක ජිවිතයක් ගත කිරිමට කළ හැකි දේ පිළිබදව අඩුආදායම් රටවල ඇති හැකියාව වැඩිදියුණු කිරීමට වූ අවශ්‍යතාවය හදුනා ගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් ආබාධ සහ ආබාධිත තත්ත්වයන් පිළිබද ජාත්‍යන්තර සමුළුව සෑම වසර 02 කටම වරක් පැවැත් වේ. එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවලින් සහභාගි වන්නන්ට ප්‍රායෝගික ක්‍රමවේද ලබාදීම, උපත් ආබාධය ආවේක්ෂණය ක්‍රියාත්මක කිරිම, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සහ ප්‍රතිපාදන ලබාගැනීම පිළීබදව දැනුම ලබාදීම සිදු කරයි. ශ්‍රී ලංකාවේ මෙවර පැවැත්වෙන මෙම සමුළුවේ සභාපතිත්වය ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා විසින් දරනු ලබන අතර, සම සභාපතිත්වය විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය සහ මාර්ච් ඔෆ් ඩයි ආතනයේ සලීමා වලනි මහත්මිය විසින් දරනු ලබයි. මහාචාර්ය වජිර දිසානායක මහතා අධ්‍යයන සැසි සභාපති ලෙස කටයුතු කරනු ලබන අතර, මෙම සමුළුව සදහා රටවල් 36 කින් 350 කට අධික විවිධ තරාතිරමේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින් සහභාගි වේ. මෙම ජාත්‍යන්තර සමුළුව උසස් සම්මිශ්‍රණයකින් යුත් අධ්‍යයන සැසි සහ විද්වත් සම්බන්ධතා ඇතිකර ගැනීම සදහා මනා ප්‍රශ්තාවක් සපයයි. තාක්ෂණික වැඩමුළුව ආරාධිත දේශණ සහ සමගාමී සම්මන්ත්‍රණ වලින් ද යුක්තය.

    ලෝකය පුරා මිලියන 08 ක් පමණ වන උපත් ආබාධ සහිත දරුවෝ සෑම වසරකම පමණ ළමා පරපුරට එක්වෙති. පළමු වසරේම මියයන දරුවන්ගේ මියයාමට ප්‍රධාන හේතුවක් වනුයේ උපත් ආබාධයි. ඒපමණක් නොව ජීවත්වන උපතින්ම ආබාධිත දරුවෝ බොහෝ කායික හා මානසික ආබාධ වලින් පෙළෙති. එවැනි දරුවන් නිසා පවුල් වලට සමාජයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිමහත් දුෂ්කරතා වලට පත් වේ.

    ශ්‍රී ලංකාවේ සෑම වසරකදීම ලක්ෂ 36 ක් පමණ කාන්තාවන් ගර්භනීභාවයට පත්වන අතර, 326,000 ක් සජීවි දරුවන් උපත ලබයි. මින් දරුවන් 5800 ක් විවිධ උපත් ආබාධ සහිතව මෙළොව එළිය දකින අතර, ඉන් දරුවන් 650 ක් සිය පළමු උපන්දිනය සැමරීමට පෙර මෙලොව හැරයයි. උපත් ආබාධ වලින් සියයට 30 ක් පමණ දරුණු උපත් ආබාධ වන අතර, එම දරුවන් ජීවත් වුව ද ස්වාධීන ජිවිතයක් ගත කළ නොහැක. ඔවුනට සේවා සැපයීමට සෞඛ්‍ය වැය ශිර්ෂයෙන් විශාල මුදලක් වෙන් වේ. ගර්භයට මාස 07 සති 28 කට පසු කුස තුල මියයන දරුවන් හෙවත් මලදරු උපත් 1900 ක් පමණ වසරකට වාර්තා වන අතර ඉන් සියයට 35 කළල ආබාධ හෝ විකෘතිතා සිදුවන බවට හෙළිවී තිබේ.

    බොහෝ උපත් ආබාධ වළක්වා ගත හැකිවා පමණක් නොව උපත් ආබාධ සහිතව ජීවත්වන දරුවන්ට ප්‍රශස්ත දිවි පැවැත්මක් ද ලබාදිය හැකිය.

    මෙම ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සව අවස්ථාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සමුළුවේ සභාපති ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා, සම සභාපති විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය සහ මාර්ච් ඔෆ් ඩයි ආතනයේ සලීමා වලනි මහත්මිය, අධ්‍යයන සැසි සභාපති ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya