මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ප්‍රවර්ධනයට මාධ්‍යවේදීන් ලබාදෙන සහයෝගය ඉතා අගය කරනවා

    දෙසැම්බර් 18, 2019

    සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සදහා සමස්ත මාධ්‍යවේදීන් ලබාදෙන සහයෝගය ඉතා අගය කොට සළකන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන මාධ්‍ය සම්මාන උළෙළ 2019  බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ නෙළුම් ශාලාවේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්ව‍යෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

    මෙහිදී රූපවාහිනී මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍ය, වෙබ් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය යන අංශ ඔස්සේ කුසලතා, විශිෂ්ටතා, සමස්ත විශිෂ්ටතා වශයෙන් සම්මාන සහ සහතික පත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් පිරිනමන ලදි.

    මෙම සම්මාන උළෙලේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “පළමුවෙන්ම අපේ ජාතික අවශ්‍යතාවයක් වෙලා තිබුන මේ උළෙල සංවිධානය කිරීම පිළිබදව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරී මණ්ඩලය ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට මා ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙතරම් දීර්ඝ කාලයක් මේ සදහා සහයෝගය ලබාදුන්න සියලු මාධ්‍යවේදීන්ට ද ගෞරවය ස්තූතිය පුද කරනවා. බහුතර ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් කර එතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණය ක්‍රියාත්මක කිරීම සදහා අපට බලය ලබාදුන්නා. අපේ වගකීම මේ මාධ්‍ය වේදීන් සියලුදෙනා සමග එකතු වෙලා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමයි. මේ රටේ ජනතාවට නිරෝගිමත්ව ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර දීම අපේ අරමුණ වෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ නිරෝගීමත් ජනතාවක් මේ රටේ බිහි කිරීම තමයි පැහැදිලිවම සදහන් වෙලා තිබෙන්නේ. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා මාධ්‍යවේදීන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා.”

    “අපේ රටේ ඉතිහාසයේ ඉතාමත් නිරෝගී ජනතාවක් ජීවත් වුණා. වස විස වලින් තොර ආහාර ඔවුන් පරිභෝජනය කළා. එම නිසා අද මෙන් ඔවුන් රෝගී පුද්ගලයන් බවට පත් වුනේ නැහැ. සමහර රජවරු අවුරුදු 70 ක් රට පාලනය කර තිබෙනවා. එතකොට ඔවුන්ගේ ආයුෂ කාලය කොපමණ වෙන්න ඇත්ද. එහෙම නිරෝගී ජනතාවක් මේ රටේ හිටියේ. අපේ රටේ අතීතයේ ජීවත් වූ මිනිස්සු ලෝකය මවිත වෙන වැඩ කළා. තාක්ෂණය දියුණු තත්ත්වයක තිබුනා. බොහොම සරළ ජිවිතයක් ගත කළා. අධ්‍යාත්මිකව බොහොම දියුණූ භාව‍යේ හිටියා. දැන් අපට වෙලා තිබෙන්නේ මොකක් ද පාරම්පරිකව බත් කාපු මිනිස්සු දැන් බත් කාලා ලෙඩ වෙනවා. පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ කිව්වේ පළමුව බඩවැල නිරෝගී කර ගන්න ඕන කියලා. බෙහෙත්වලට රජයේ රොහල්වලට අවුරුද්දකට රුපියල් බිලියන 80 ක් විතර වියදම් වෙනවා. එතකොට අපේ රටේ මිනිස්සු නිරෝගී කියලා ඔබ හිතනවා ද. මේ වියදම් අපේ රටට දරන්න පුළුවන් ද. එහෙනම් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ කියලා තිබෙන විදිහට ආණ්ඩුවේ වගකීම ප්‍රතපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි නිරෝගීමත් ජනතාවක් බිහි කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරීමයි. අපි මේ රට ඉතිහාසයේ තිබුන පරිදි නිරෝගීමත් ජනතාවක් සිටින රටක් බවට පත් කළ යුතු වෙනවා. අද බෝවන රෝග වලට වඩා තර්ජනයක් වෙලා තිබෙන්නේ බෝනොවන රෝග. අපි ඒ පිළිබදව ජනතාව දැනුවත් කළ යුතු වෙනවා.”

    “සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අනුබද්ධ ආයතන විසින් ගෙනයන වැඩසටහන්වලට විශාල සහයෝගයක් මාධ්‍යවේදීන් ලබාදෙනවා. ඉදිරියේ දීත් ජනතාව නිරතුරුව දැනුවත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්වලට මාධ්‍යවේදීන්ගේ සහාය අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සදහා ඔබතුමන්ලා විශාල මෙහෙවරක් සිදු කරනු ලබනවා. අද සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතුවලදී ප්‍රචාරණ කටයුතු සිදු කරමින් ඔබ කළ සේවය මෙසේ අගයනු ලබනවා.”

    මෙම සම්මාන උළෙළ සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ (සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රචාර) විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තුමා, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා, සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ඇතුලු මාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya