මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැදවියන් දෙස සානුකම්පිත හදවතකින් බැලිය යුතුයි- විවෘත බන්ධනාගාර තුළ පුනරුත්ථාපන වැඩපිළිවෙලක්

    දෙසැම්බර් 17, 2019

    බොහොමයක් රැදවියන් තමන්ගේම වරදින් පමණක් නොව සමාජය තුළ තියෙන වැරදි නිසාත් බන්ධනාගාර ගත වන බවත්,ඒ නිසා මුළු මහත් සමාජයම මෙයට වග කිව යුතු බවත් සානුකම්පිත හදවතකින් රැදවියන් දෙස බැලිය යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    තවද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අය වෙනම විවෘත බන්ධනාගාර තුළ පුනරුත්ථාපනය කිරීමේ වැඩ පිළිවෙළක් ඉදිරියේ දී දියත් කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේ,බදුල්ල, තල්දෙන එළිමහන් සිර කඳවුරේ පැවති නේවාසික මානවක බාල දක්ෂ කදවුරට සහභාගි වු සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පැවති ආගමික උත්සවය සදහා එක්වෙමිනි

     

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.


    බන්ධනාගාරගතව සිටින රැදවියන් සමාජ ගත කිරීම සදහා ගෙන යන වැඩ පිළිවෙලේදි බාල දක්ෂ ව්‍යාපාරය උත්කෘෂ්ට සේවයක් සපයනවා.බාල දක්ෂ ව්‍යාපාරය තුළින් ස්වශක්තියෙන් නැගී සිටීම විශ්වාසය ඇති කිරීම තමන් තුළ හොද ප්‍රතාපවත් චරිතයක් ගොඩ නංවා ගැනීම වැනි සුවිශේෂි ගුණාංග ඇති කරවනවා.ඒ නිසා බාල දක්ෂ ව්‍යාපාරය බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කරමින් රැදවියන් ඉතා ඉක්මනින් සමාජ ගත කිරීම සදහා අවශ්‍ය වන පසුබිමික් නිර්මාණය කිරීම පිළිබදව අගය කළ යුතුයි.

    බන්ධනාගාර ක්ෂේත්‍රයේ විශාල අඩු පාඩුකම් රාශියක් තියෙනවා.බන්ධනාගාර ගත කරනවා කියන්නේ යම් කිසි පිරිසකට හිංසා කරන්න වධ දෙන්න කරන දෙයක් නෙමෙයි.බන්ධනාගාර ගත කිරීමේ අදහස අරමුණ පුනරුත්ථාපනය කිරීමයි.එසේ කරන්න බැරි කිහිප දෙනෙක් ඉන්නත් පුළුවන් .නමුත් බහුතරයක් පුනරුත්ථාපනය කරන්න පුළුවන්.ඒ නිසා රැදවියන්ට අපි මීට වඩා පහසුකම් ලබා දෙන්න ඕන.මම දන්නවා බන්ධනාගාර රැදවියන්ට තියෙන පහසුකම් ප්‍රමාණවත් මදි කියලා.

    බන්ධනාගාර තුළ රඳවා තබන්නට පුළුවන් වගේ තුන් ගුණයක් ඉන්නවා.විශේෂයෙන්ම මේ හෙරොයින් ප්‍රශ්නය නිසා තමයි මේ ප්‍රශ්නය උදා වෙලා තියෙන්නේ.නැත්නම් එහෙම වෙන්නේ නැහැ.ඒ සදහා අපි වැඩ කටයුතු රාශියක් දැනට කර ගෙන යනවා.දවසින් දෙකෙන් මේවාට උත්තර හොයන්න බැහැ.බන්ධානාගර තදබදය අවම කිරීමට විශාල වශයෙන් ගොඩනැගිලි හදන්න තියෙනවා.මේ වන විට බන්ධනාගාර තුළ තිබෙන සනී පාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට මුදල් වෙන් කරලා තියෙනවා.ඒවා අවසන් වෙන කොට බන්ධනාගාර තුළ යම් වෙනසක් ඇති වෙයි.

    බන්ධනාගාර තුළ මරණ දඩුවමට නියම වු අය ඉන්නවා.ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින අය ඉන්නවා.මේ පිළිබඳව අපේ රටේ නීති පද්ධතිය හා බන්ධනාගාර ක්‍රියාවලිය ඉතාමත්ම මන්දගාමීව තමයි කටයතු කරන්නේ. අවුරුදු 10 ක් 15 ක් බන්ධනාගාර ගත කළායින් පස්සේ තවදුරටත් ඔවුන් රදවා තබා ගැනීමෙන් ප්‍රතිඵලයක් නැහැ.ඒ පිළිබදව අලුතින් හිතන්න වෙලා තියෙනවා.ඒ පිළිබදව ප්‍රතිඵලයක් තියෙනවා ද කියලා.රැදවියන් බන්ධනාගාර ගත වෙන්නේ තමන්ගේම වරදින් නෙමෙයි.අපේ සමාජය සංස්ථාව තුළ තියෙන වරදින් තමයි බොහොමයක් අය වැරදි කරුවන් බවට පත් වෙන්නේ.ඒ නිසා අපිත් වග කියන්න ඕන.මුළු මහත් සමාජයම මෙයට වග කිව යුතුයි.

    ඒ නිසා අපි සානුකම්පිත හදවතකින් රැදවියන් දෙස බලන්න ඕන.ඔවුන්ට වඩාත් හොද පහසුකම් ලබා දීලා ඔවුන්ව ඉතා ඉක්මනින් පුනරුත්ථාපනය කළ යුතුයි.හෙරොයින් මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීම පිළිබදව නඩු සියයට එකසිය පනහකින් වැඩි වෙලා තියෙනවා.වෙනත් රටවල් වල නම් මේ අය වෙනම කදවුරු වල දාලා පුනරුත්ථාපනය කරනවා. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අය මේ බන්ධනාගාරවලින් ඉවත් කරලා වෙනමම විවෘත බන්ධනාගාර තුළ තියලා පුනරුත්ථාපනය කිරීමේ වැඩ පිළිවෙළක් ඉදිරියේදී අපි යොදන්න ඕන.ඒ සදහා දැනටමත් අපි සාකච්ඡා කරලා තියෙනවා.ඉදිරි කාලයේදී සෑම බන්ධනාගාරයකටම තියෙන පහසුකම් පිළිබදව සොයා බලන්න අපි යනවා.ඒ තුළින් බන්ධනාගාර පද්ධතියේ ඇති පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.

    බන්ධනාගාර දෙපාර්තමේන්තු‍වේ පුනරුත්ථාපන අංශය හා ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය එක්ව මෙම ආගමික උත්සවය සංවිධානය කර තිබුණි. සිරකරුවන්ගේ ආකල්ප වැඩි දියුණු කිරීම සදහා මීට පෙර අවස්ථා දෙකක දී බන්ධනාගාර තුළ බාල දක්ෂ කදවුරු පවත්වා ඇති අතර සිරකරුවන් 400 ක් පමණ මේ සදහා සහභාගි විය.

    සිරකරුවන් අතර ගුණ ධර්ම ස්වයං විනය ඇති කිරීම, කණ්ඩායම් හැගීම වර්ධනය කිරීම, ආත්ම අභිමානය ඇති කිරීම ,ආගමික වතාවත් සදහා ඔවුන් යොමු කිරීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබේ.
    ලොව දිනන සිපිරි මානවකයා යන තේමාව යටතේ මෙම බාල දක්ෂ කදවුරු පැවැත්විණි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන් බන්ධනාගාර අධිකාරීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya