සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් මංගල්‍යය ලොවටම ආදර්ශමත් ප්‍රතිපත්ති පූජාවෙන්, ආමිස පූජාවෙන් සැමරීම අප සතු වගකීමක්

    මැයි 10, 2017

    අප මාතෘ භූමියෙහි අනන්‍යතාවය සහ කීර්තිය අන්තර් ජාතික වශයෙන් ප්‍රචලිතවන මෙවර වෙසක් මංගල්‍යය ලොවටම ආදර්ශමත් වන ලෙස ප්‍රතිපත්ති පූජාවෙන් සහ බොදු හැඟීම් උද්දීපනය වන ආමිස පූජාවෙන් ද සැමරීම අප සතු වගකීමක් වන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (10) යෙදෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

     

    ගරු කථානායකතුමාගේ වෙසක් දින සුභ පැතුම් පණිවුඩය

    ලෝකයේ ‍‍ථෙරවාදී බෞද්ධ රටවල් අතර, අග්‍රස්ථානය වන අප දේශයට තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල ස්මරණය කෙරෙන වෙසක් මංගල්‍යය අති සම්භාවනීය ජාතික ආගමික ‍මහෝත්සවයකි. එය මෙවර මුළු මහත් බෞද්ධ ලෝකයම එක් තැන් කරන මහා ජාත්‍යන්තර ආගමික උත්සවයක් බවට පත්ව තිබීම අප රටට අතිශයින්ම වැදගත්ය.

    බෝසතාණන් වහන්සේ උපත ලද නේපාල දේශයේ ජනාධිපතිතුමිය, උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ භාරත දේශයේ අග්‍රාමාත්‍යතුමා මෙන්ම බෞද්ධ ලෝකයේ සුවිශේෂී රාජ්‍ය අමුත්තන් විශාල පිරිසක් එක්වීමත් ශ්‍රී ලංකාව එහි මූලිකත්වය ගැනීමත් අප රට ලෝකයෙහි ඔසවා තැබූ අවස්ථාවකි.  

    විශේෂයෙන්ම “සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය” උදෙසා වූ බුදු දහමේ ඉගැන්වීම යන ප්‍රස්තුතය මෙවර එක්සත් ජාතින්ගේ වෙසක් උළෙලෙහි ලෝක කතිකාවක් බවට පත් වේ. එහිදී එම උතුම් අරමුණ ‍උදෙසා අපගේ රටට දිය හැකි දායකත්වය අද්විතීය බව ලොවට පසක් වනු ඇත. 

    අප මාතෘ භූමියෙහි අනන්‍යතාවය සහ කීර්තිය අන්තර් ජාතික වශයෙන් ප්‍රචලිතවන මෙවර වෙසක් මංගල්‍යය ලොවටම ආදර්ශමත් වන ලෙස ප්‍රතිපත්ති පූජාවෙන් සහ බොදු හැඟීම් උද්දීපනය වන ආමිස පූජාවෙන් ද සැමරීම අප සතු වගකීමක් වනු ඇත.

    දෙදහස් පන්සිය වසරක් පුරා පිරිසිදු ථෙරවාදී බුදුදහම අනේක විධ අභියෝග හමුවේ රැකගත් දාර්ශනික ජාතියක් ලෙස ලෝකය හමුවේ අපට හිමි වන මෙම උතුම් අවස්ථාව ජාති, ආගම්, පක්ෂ භේදවලින් තොරව සම්භාවනීය ජනතාවක් ලෙස ගෞරවයෙන් සමරමින් වෛශාක්‍ය මංගල්‍යය හා ඒකාත්මික වන ලෙස සකල ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන්  මා ඉල්ලා සිටිමි. 

    ශ්‍රී ලාංකිකයන් ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාව තුල මෙත්තා, කරුණා,මුදිතා,උපෙක්ෂා ගුණයන් වැඩී බුදු මගට යොමුවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි පතමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya