අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන මාධ්‍ය කොමිසම පිහිටුවන්නේ මෙරට මාධ්‍යයහි ප්‍රමිතිය ඉහළ නැංවීමටයි - ජනමාධ්‍ය නි. ඇමැති

    මැයි 03, 2017

    ශ්‍රී ලංකාවේ මාධ්‍යයෙහි ප්‍රමිතිය උසස් තත්ත්වයට ගෙන ඒම සඳහා රජය ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ජාකර්තා නුවර අද (03) පැවති ලෝක ජනමාධ්‍ය නිදහස් දින සම්මේලනය අමතමින් පැවසීය.


    ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා රජය සෑම පියවරක්ම ගෙන ඇති බව ද මෙම සමුළුවේ "මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සහ පීඩාවලින් වළක්වාලීම" යන මැයෙන් පැවති සැසියේදී ඒ මහතා සඳහන් කළේය.

     

    "අපි සෙමින් සහ ක්‍රමාණුකූලව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා කටයුතු කරගෙන යනවා" යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

     

    මාධ්‍යකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ඒවායේ සැකකරුවන්ට එරෙහිව දැනටමත් නඩු ගණනාවක් පවරා තිබේ. ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව මුල් කොට ගනිමින්  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති හා වටිනාකම් සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරන බව ද පරණවිතාණ පෙන්වා දුන්නේය.

     

    "මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ හා නීතිමය ක්‍රියා මාර්ගවල ප්‍රමාදයක් තිබුණත්  වැරදිකරුවන් කෙසේ හෝ අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරගෙන යනවා. සමහර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ සැකකරුවන් ගණනාවක් දැනටමත් අත්අඩංගුවේ පසු වෙනවා" යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ජනමාධ්‍යයේ තත්ත්වය නංවාලීම සඳහා රජය සෑම උත්සහයක් ම ගන්නා අතර එවැනිම උත්සාහයක් මාධ්‍ය ආයතන හිමිකරුවන් විසින් ද ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය උසස් තත්ත්වයකට ගෙන  ඒම සඳහා ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවීමට රජය සාකච්ඡා කරගෙන යන බව ද ඒ මහතා කීය.

     

    රජය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක කොට ඇත. මාධ්‍ය නියාමනය කිරීම සඳහා අදාළ නීති ගෙන ඒමට ද කටයුතු කරමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya