අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයට නවීන තාක්ෂණයේ විප්ලවීය වෙනසක්

    අප්‍රේල් 21, 2017

    නවීන තාක්ෂණය භාවිතා කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් පොත් බෑගයක් වෙනුවට ටැබ් පරිගණකයක් අතින් ගත් සිසු දරුවකු පාසල වෙත පියනගන කාලය වැඩි ඈතක නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


     අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා භාවිතා කිරීමේ වැඩසටහන් කීපයක් සමාරම්භ කිරීමේ අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

     

    වේගයෙන් වෙනස්වන ලෝකය සමග ඉදිරියට යාමට අවශ්‍ය පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාකාරකම් සඳහා නවීන තාක්ෂණය හා මෙවලම් හඳුන්වාදෙන අතරම ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ සමස්ත පාසල් පද්ධතියේ සියලු පහසුකම් ඉහල නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වාදෙන ලද වැඩසටහන් කීපයක් ආරම්භ කිරීම මෙදින සිදු කෙරිණි. ඒ අතර

     

    මහජන සම්බන්ධතා කළමනාකරණ පද්ධතිය Public Relation Management System ස්ථාපිත කෙරේ

    මහජන සම්බන්ධතා කළමනාකරණ පද්ධතිය Public Relation Management System අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අද ආරම්භ කළ අතර මේ මගින් අධ්‍යාපන අමාත්‍යාශයේ සේවා ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන්ට විශාල පහසුවක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා. අමාත්‍යාංශය වෙත සේවාලාභීන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන අතර ඔවුන්ව අනවශ්‍ය ලෙස රඳවා ගැනීමෙන් තොරව, අවශ්‍ය සේවාව ඔවුන් තෘප්තිමත්වන ආකාරයෙන් කඩිනමින් සැපයීමට සහ ක්ෂේත්‍රයට අදාළ අවශ්‍යතාවක් සඳහා කිසිවකුගේ පැමිණීම අත්‍යාවශ්‍ය වන්නේ නම් පමණක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණීමේ ප්‍රවණතාවක් ඇති කිරීම සඳහා මෙම මහජන කළමනාකරණ පද්ධතිය සකස් කර තිබෙනවා. ඒ සඳහා  http://edulk.info/requests වෙබ් අඩවියට ගොස් තම ගැටළු අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට ඕනෑම අයකුට හැකියාව පවතින අතර ඉදිරිපත් කළ ගැටළුව සම්බන්ධ ඉදිරි සොයා බැලීම් ද සිදු කළ හැකියි.

     

    හෙටට ඔබින අධ්‍යාපනයක් උදෙසා (Online forum) මාර්ගගත කතිකාවතක්

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපනය සම්බන්ධ කතිකාවතක් ඇතිකිරීම සඳහා සකස් කර ඇති (Online forum) මාර්ගගත කතිකාවත ද අද ආරම්භ කරනු ලැබුවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා විවිධ පුද්ගලයන් සතු අදහස් හුවමාරු කරගැනීමටත් ප්‍රතිපත්ති සම්පාදනයේ දී එම අදහස් ඉවහල් කර ගැනීමත් අරමුණු කරගෙන  හෙටට ඔබින අධ්‍යාපනයක් උදෙසා මාර්ගගත කතිකාවතක් ඇති කිරීම මේ (Online forum)  මගින් බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපනඥයින්ට විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව උනන්දුවකින් පසුවන ඕනෑම අයකුට මෙම Online forum හරහා ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී කතිකාවතක නිරත වෙන්න අවස්ථාව උදා වෙනවා. මේ සඳහාhttp://lankaeduforum.com ඔස්සේ සම්බන්ධ වීමට හැකියි.

     

    සුහුරු පන්ති කාමර ආකෘතිය විදහා දැක්වෙන Digital learning experience centre

     

    අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පිහිටුවා ඇති අනාගත පන්ති කාමරයක ආකෘතිය විදහා දැක්වෙන ආදර්ශ පන්ති කාමරයක අත්දැකීම ලබාගැනීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇති Digital learning experience centreඩිජිටල් ඉගෙනුම් අත්දැකීම් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අද ආරම්භ කළා. මෙම ආදර්ශ සුහුරු පන්ති කාමරය Smart Class Room මගින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා නව තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳව ගුරු සිසු සියලු දෙනාට සජීවී අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව උදාවනු ඇති.

     

    අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පිවිසෙන ඕනෑම අයකුට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන free wi-fi  කලාපයක්

    මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පිවිසෙන ඕනෑම අයකුට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන free wi-fi  කලාපයක් ද ඇති කර තිබෙනවා.

    මෙම අවස්ථාවන්ට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක් වුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya