අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කළ යුතුව තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    අප්‍රේල් 19, 2017

    ගෝලීය ආර්ථිකයට බද්ධ වී අපනයනය පදනම් වූ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ යථාර්තයට මුහුණ දිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කළ යුතුව තිබෙන බවත් යථාර්තවාදී ආර්ථික ප්‍රතිසංසකරණ සහ ඉතා කාර්යක්ෂම තීන්දු තීරණ ගැනීම සිදු කළ යුතු බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    රැකියා දසලක්‍ෂයේ වැඩපිළිවෙලේ වත්මන් තත්ත්වය  පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මේ බව  පවසයි.

     

    2015 වසරේ අගෝස්තු 17ත් වනදා යහපාලන රජය පිහිටුවීමේදී ගරු අග්‍රාමාත්‍යතුමන් ජාතිය හමුවේ පොරොන්දු වූයේ රැකියා වියුක්තියට ස්ථිර විසදුම් සැපයීම සඳහා ක්‍රියාත්මක කෙරෙන නව ආර්ථික ක්‍රමවේදයන් තුල රැකියා දසලක්‍ෂයේ ඉලක්කය වෙත රට ගෙන යන බවයි. එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව රැකියා වෙළඳපොල ශක්තිමත් කරන බවටද ප්‍රතිඥා දී තිබෙනවා, ‘බලගතු ශ්‍රී ලංකාවක්’’ යන ඉදිරිදැක්ම තුළින් ප්‍රකාශයට පත් කර ඇත්තේ එම සැලැස්ම ළඟා කර ගැනීමේ ප්‍රායෝගික ගමන් මාර්ගයයි.

     

    අපි ගෝලීය ආර්ථිකයට බද්ධ වී අපනයනය පදනම් වූ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ යථාර්තයට මුහුණ දිය යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාව තුල ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කල යුතුව ඇති බව  රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම යථාර්තවාදී ආර්ථික ප්‍රතිසංසකරණ සහ ඉතා කාර්යක්ෂම ලෙස තීන්දු තීරණ ගැනීම තුලින් සිදු කල යුතුයි.  තමන්ගේ දේශපාලන දර්ශනය හෝ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ වැලැක්වීම හෝ ප්‍රමාද කිරීම මෙරට තාරුණ්‍යයේ අනාගතයට සිදුකරන බරපතල හානියකි. ඍජුව සහ වක්‍රව එකී ප්‍රමාදයන් සඳහා  කටයුතු කරන  ඇතැම් දේශපාලන ව්‍යාපාර හා වෘත්තිය සමිති පාර්ශව එහි වගකීම භාර ගත යුතුය.

     

    මහින්ද රාජපක්ෂ කළු දශකය තුල අවිධිමත් මුල්‍ය ක්‍රමවේදයක් මත රටේ ණය බර වැඩිකරමින් විවිධ ව්‍යාපෘති සිදු කරනු ලැබුවා. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල වැනි එලෙස පල නොදැරූ ව්‍යාපෘති ආර්ථික ශක්තිමත් කරන රැකීරක්ෂා බිහිකරන නවෝත්පාදන කලාපයන් ලෙස සංවර්ධනය කිරීමේ අභියෝගය දැන් අපි ජයගත යුතුයි.

     

    තවදුරටත් රාජපක්ෂ තියරියම අනුගමනය කරමින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ණය ලබා ගැනීම, රුපියල ආරක්ෂා කිරීම සඳහා කෘත්‍රිමව ඩොලර් අළෙවි කිරීම, විරැකියාවට එකම විසදුම රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම පමණක් බව විශ්වාස කිරීම වැනි ක්‍රියාමාර්ග මෙරට අර්බුද වලට යතාර්ථවාදී විසඳුමක් නොවේ.

     

    ඇතැමුන් සිතා සිටින්නේ රැකියා දසලක්‍ෂයේ ඉලක්කය රාජ්‍ය අංශය තුලින්ම සපුරා ගැනීමේ සංකල්පයක් බවයි. එය යහපාලන ප්‍රවේශයට එරෙහි පිරිස් මෙන්ම ඇතැම් විට යහපාලනයට එකඟ පිරිස්ද නිසි පරිදි අවබෝධ කර නොගත්  කරුණක් වී තිබේ.

     

    මෙරට ලක්ෂ 15 ක් වන  රාජ්‍ය සේවය තුලින් රටේ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව සියලු පාර්ශව වඩාත් විමසිලිමත්ව නිරීක්ෂණය කල යුතුයි. රාජපක්ෂ හිතවාදීන් මෙන්ම ඇතැම් විට එම සංකල්පයම ව්‍යංගයෙන් අනුගමනය කරන පාර්ශව සිතා බැලිය යුත්තේ රාජ්‍ය සේවක වැටුප් සඳහා වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 800 මුදල තවදුරටත් වැඩි කර ආර්ථිකය විනාශ කර දමනවාද නැද්ද යන්නයි. එමෙන්ම දවසේ වැඩ කරන පැය 8න් සැලකියයුතු කාලයක් අපතේ හරින  රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම අප මත පැටවී ඇති බරපතල අභියෝගයක්. සමාජය තුල ප්‍රශ්න ගත කරුණක්ව පවතින්නේ සෑම සිවිල් පුරවැසියන් 16 දෙනකුටම එක් අයෙක් රාජ්‍ය සේවයකු වුවද ඔවුන්ගෙන් ලැබෙන ආර්ථික හා සමාජීය ප්‍රතිලාභය කුමක්ද යන්නයි.

     

    නව රැකියා බිහි කිරීමේ අභියෝගය තවදුරටත් බැරෑරුම් වී ඇත්තේ ලක්ෂ 11 වැඩි ත්‍රීරෝද රථ පදවන මෙරට තරුණ ශ්‍රම බලකාය හේතුවෙනි.ඔවූන්ගේ නිශ්චිත ඉලක්කයක් නොමැති ජිවන රටාව තුල ජිවන තත්වය කඩා වැටි ඒ තුළින් සමාජ හා ආර්ථික ගැටළු වැඩිවෙමින් පවතිනවා. එයට විසදුම් ලබා දීම ද අප සතු කාර්ය භාරයකි. පොදු ප්‍රවාහනය තුල යහපත් මානසිකත්වයකින් ගමනාන්තය වෙත යොමු වීමේ පරිසරයක් ගොඩනැගීම බැහැර කර නොහැකි සංකල්පයක් බව සඳහන් කල යුතුය. එමෙන්ම රටේ ශ්‍රම බලකායෙන් 27.6%ක් නියෝජනය කරන, දල ජාතික නිෂ්පාදිතයට 8% ක දායකත්වයක් සපයන කෘෂි හා ධිවර ක්ෂේත්‍ර නව තාක්ෂණය හා කාර්යක්ෂම ශ්‍රම සැපයුම වෙත යොමු කිරීම රැකියා දසලක්‍ෂයේ ඉලක්කය යතාර්ථයක් බවට පත් කිරීමේදී  අප මුහුණ දෙන බරපතල අභියෝගයකි.

     

    මෙම තත්වයන් මත අවධාරණය කල යුතුව ඇත්තේ රැකියා දසලක්ෂයේ වැඩසටහන සාර්ථක කර ගැනීම මත අප රටේ තරුණයේ අනාගතය ශක්තිමත් කිරීමේ අභියෝගය ද රට හමුවට පැමිණ ඇති බවයි. එය දේශපාලන,ව්‍යාපාරික හෝ වෘත්තිය සමිති ව්‍යායාමයන් තුළින් කඩා කප්පල් කිරීමට යෑමෙන් නැවතත් මේ රටේ තරුණ අසහනයට ආරාධනා කිරීමේ වගකීම බංකොලොත් දේශපාලන ප්‍රවාහයන් විසින් භාර ගත යුතුයැයි රාජ්‍ය අමාත්‍යවරයා  පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya