අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර තරගයකට සිසුන් දෙදෙනෙක් ජර්මනියට යයි

    අප්‍රේල් 15, 2017

    ජර්මනියේ ස්ටුට්ගාඩ් හි පැවැත්වෙන 24 වන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා තම විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් දෙදෙනෙකුට අවස්ථාව හිමි වූ අතර එම තරගාවලිය හෙට (16) සිට ලබන 22 දක්වා පැවැත් වේ.

    එම සිසුන් දෙදෙනාට ගුවන් ටිකට්පත් ප්‍රදානය පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

    මෙහිදී අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට් පත් ලබාගත්තේ  Modification of Microbiology fuel cells via the immobilization of the anaerobe Clostridium butyricum and Escherichia coli-XII blue පර්යේෂණය ඉදිරිපත් කරන මන්නාරම සිත්ති විනායගම් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත් හා Deposition of air pollutants on pollen grains and occurrence of respiration allergies among humans  පර්යේෂණය ඉදිරිපත් කරන කොළඹ නාලන්ද විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න යන සිසුන්.

    මෙම තරගාවලියට සහභාගී වී රටට විශාල කීර්තියක් අත්කර දීමට අවස්ථාව ලැබෙවා යැයි සිසුන්ට අධ්‍යාපන අමාත්‍යවරයා තම සුබ පැතුම් එක් කළා. එසේම මේ වන විට සංවර්ධනය වන රටක් ලෙස පාසල් මට්ටමින් පර්යේෂණ සංස්කෘතියක් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් විෂය ක්ෂේත්‍රයන් තුළ ද ඇති කිරීම කෙරේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධානය යොමු කර ඇති අතර ඒ අනුව මෙවර අයවැය යෝජනා මගින් නව උත්පාදනයන් හා නිර්මාණාත්මක කුසලතා දක්වන සිසුන් සඳහා සුබග ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයක් ද ඉදිරිපත් කෙරුණා.

    සංවර්ධනය සඳහා තරුණ පරම්පරාවේ උසස් චින්තන හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලද 39 වන රට බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති අතර එහිදී තම විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කිරීමට මෙම සිසුන් දෙදෙනාට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ඔවුන් ඉදිරිපත් කළ  විද්‍යාත්මක පර්යේෂණ  ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව ඉදිරිපත් කළ බවට එම සංගමයේ පිළිගැනීමට ලක් වූ බැවින්.  

    ලෝකය පුරා විසිරී සිටින තරුණ විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පර්යේෂණ මූලික කරගනිමින් මෙම තරගාවලිය පැවැත්වෙන අතර 2016 අප්‍රේල් මස රුමේනියාවේ පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සිසුන් දෙදෙනෙකුට නිරීක්ෂණ මට්ටමින් පමණක් සහභාගිවීමට අවස්ථාව ලැබී තිබුණා.

    මෙම තරගාවලියට සහභාගිවීම හරහා ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥයින්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව උදාවන අතර ඒ මගින් මෙරට විද්‍යාත්මක පර්යේෂණ සඳහා පාසල් සිසුන්ගේ උනන්දුව ඉහළ යනු ඇති.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේ මෙහෙයවීමෙන් පළාත් මට්ටමින් ඉදිරිපත් කළ විද්‍යාත්මක පර්යේෂණ 16 ක් අතුරින් තෝරාගත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පර්යේෂණ 6 ක් අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ  තරගාවලියට ඉදිරිපත් කෙරුණා. එහිදී ජිතේන්ද්‍රන් ජූට් සජිත් හා රකිඳු වික්‍රමරත්න යන සිසුන් දෙදෙනා ඉදිරිපත් කළ පර්යේෂණ, තරගාවලියට ඉදිරිපත් කිරීමට තෝරාගෙන තිබෙනවා.

    මෙම ජාත්‍යන්තර තරගාවලියට සිසුන් සමඟ සහභාගි වන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යා) සී.ඩී. රත්නවීර මහත්මිය වෙත ද ගුවන් ටිකට්පත් ප්‍රදානය අමාත්‍යවරයා අතින් සිදු වූ අතර මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි හා විද්‍යා ශාඛාවේ අධ්‍යක්ෂ එම්.පී. විපුලසේන  මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya