මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සහ ජපාන අගමැතිවරුන් අතර සාකච්ඡාවක්

    අප්‍රේල් 13, 2017

    ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීම සඳහා අවශ්‍ය සහය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ජපානය සූදානම් බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය.


    තෝකියෝ නුවර ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස  ඊයේ (12) සවස හමුවෙමින් ජපාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ඇතිකරලීම සඳහා පදනම් වන නව ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් ද ජපානය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බවය.

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති ඓතිහාසික සබඳතාවන් තව තවත් ශක්තිමත් කරලීමට අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ශක්තියක් වූ බව අවධාරණය කළ අබේ මහතා, ශ්‍රී ලංකාවේ වරාය, ප්‍රවාහන යටිතල පහසුකම් හා වෙනත් ජාතික මට්ටමේ සංවර්ධන ක්‍රියාවලීන් වේගවත් කරලීම සඳහා ජපානය විශේෂ සහයක් ලබා දීමට අපේක්‍ෂා කරන බව ද පැවසීය.

    දූපත් රාජ්‍යයන් වූ ජපානය සහ ශ්‍රී ලංකාවට සමුද්‍ර ආරක්‍ෂාව සහ නිදහස් නාවුක ගමනාගමනය අතිශය වැදගත් වන බව ද, එවැනි රටවල ආර්ථික සමෘද්ධිය සඳහා සාගර සාමය පදනම් වන  බව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. එහෙයින් ඉන්දු - ශාන්තිකර සාගර ආරක්‍ෂාව සහ සාමය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද දෙරටේ නායකයෝ පිළිගත්හ.
    නාවුක කාර්යයන් සඳහා ඉන්දීය සාගරය භාවිතා කරන රාජ්‍යයන් හා ඉන්දීය සාගර කාලාපීය රාජ්‍යයන් සියල්ල සම්බන්ධ කර ගනිමින් විශේෂ ඉන්දු සාගර සමුළුවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. මේ සමුළුව ඔස්සේ ඉන්දීය සාගර කලාප සඳහා පොදු ආචාර ධර්ම හා නීති රීති පද්ධතියක් සැකසීමේ පදනම නිර්මාණය කර ගත හැකි බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
    ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවන් සහ ජපානයේ ස්වයං ආරක්‍ෂක හමුදාවන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනිණි.
    ජපානය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කාර්යයන් පුළුල් කරලීමේ අවකාශයන් හා ඒ සඳහා ජපානයේ පුද්ගලික අංශය යොමු කරලීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය සාකච්ඡා කළහ. ජපාන පුද්ගලික ව්‍යවසායකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වැඩි වැඩියෙන් පෙළඹවීමට අවශ්‍ය පසුබිම සකස්  කරමින් පවතින බව ජපාන පාර්ශවය පෙන්වා දුන්හ.
    ත්‍රිකුණාමලය වරාය කළමණාකරනය යවත්කාලීන කිරීම උදෙසා ජපාන යෙන් බිලියනයක ආධාරයක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ වික්‍රමසිංහ මහතා, ත්‍රිකුණාමලය නගර සහ වරාය සංවර්ධන සැලැස්ම සැකසීමෙන් පසුව ඉන්දියාව සමග එක්ව ඒ කාර්යයන් සඳහා සම්බන්ධවීමට ජපානය පැමිණෙන්නේ නම් එය ඉතා සතුටින් පිළිගන්නා බව පැවසීය.
    ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල්කරණ වැඩ පිළිවෙල කඩිනම් කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශවයම පිළිගත් අතර, ඒ කටයුතු විධිමත් කරලීම සඳහා ජපාන රජයේ විශේෂ නියෝජිත ආචාර්ය හිරොතො ඉසුමි (Dr. Hiroto Izumi) මහතා ඉක්මණින්ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණය යුතු බවට ද එකඟතාවයකට එළැඹිණි.
    ශ්‍රී ලංකාව සහ ජපානයට බලපාන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණු අතර, ජාත්‍යන්තර ප්‍රවණතා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනිණි.
    සාකච්ඡා කෙරුණු කරුණු පදනම් කර ගනිමින්, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද දෙපාර්ශවය එකඟ වූහ.
    ජපාන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්, අග්‍රාමාත්‍ය කාර්යාලයීය උපදේශකවරුන් හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Mr. Kenichi Suganuma) මහතා ජපාන පාර්ශවය නියෝජනය කරමින් මේ සාකච්ඡාවට සහභාගී වූ අතර, ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ටි කාසිම්, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යිලයීය පළමු ලේකම් නඳුනි හසින්තා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya