එම අවශ්‍යතාවය පදනම් කර ගනිමින් ඒ පිළිබඳව දත්ත එක්රැස් කිරීම සඳහා මෙම සමීක්ෂණය පවත්වන ලද බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. ජේ. සතරසිංහ මහතා පැවසීය. තවද , මුළු රටම ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ සිදුකල ස්වයං ප්‍රකාශිත (පරීක්ෂණාගාර/වෛද්‍ය පරීක්ෂාවකින් තොරව) සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ප්‍රථම සමීක්ෂණය මෙය වේ.
සමීක්ෂණයෙන් අනාවරණය වන තොරතුරු අනුව ජනගහනයෙන් 18% ක්, එනම් ඕනෑම පුද්ගලයින් 06 දෙනෙකුගෙන් අයෙක් කුමන හෝ දීර්ඝ කාලීන රෝගයකින් පෙළේ. තවද මෙම තත්වය වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජීවත්වන ප්‍රදේශ, සිදුකරන රැකියාව සහ යෙදී සිටින කර්මාන්තය වැනි කරුණු මත වෙනස් අගයක් ගනී.
දීර්ඝ කාලීන රෝග යනු, කලක් පවතින රෝගාබාධ වේ. මෙම සමීක්ෂණයේදී දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද ආබාධ, ආඝාතය/අංශබාගය, පිළිකා, ඇදුම/ස්වසන රෝග, මානසික අසනීප, සන්ධි ඉදිමීම/වාත රක්තය, මීමැස්මොරය/අපස්මාරය වැනි රෝගාබාධ පිළිබඳ තොරතුරු රැස්කරන ලදී. වයස් ගතවීමත් සමගම දීර්ඝ කාලීන රෝගවල ප්‍රවනතාව වැඩිවේ. දත්ත මගින් ප්‍රකාශ වන ආකාරයට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතරින් අඩක් පමණ (50%) කිසියම් දීර්ඝ කාලීන රෝගයකින් පෙළේ. තවද වයස අවුරුදු 15 හා ඊට වැඩි ජනගහනය තුල දියවැඩියාව හා අධික රුධිර පීඩනය ව්‍යාප්තිය පිළිවෙලින් 7% හා 9% වේ. දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන්නන්ගේ ව්‍යාප්තිය ඔවුන් සිදුකරන රැකියා, කර්මාන්තය අනුව ද වෙනස්වන බව පෙනී යයි. උදාහරණයක් ලෙස රැකියාවල නියුක්ත වුවන් අතරින් “ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කළමණාකරුවන්” ගණයට අයත් පුද්ගලයින් අතර දියවැඩියාව (13%) හා අධික රුධිර පීඩනය (8%) ක් වන ඉහළම ව්‍යාප්ති අගයන් පෙන්වයි. කෘෂිකර්මාන්ත අංශය සහ කර්මාන්ත අංශයේ රැකියා නියුක්ත වූවන් තුල 4% ක් බැගින් වාර්ථා වූ දියවැඩියා ව්‍යාප්තිය, සේවා අංශයේ සේවා නියුක්තිකයන් තුල 7% ක් ලෙස සාපේක්ෂව ඉහල අගයක් ගෙන තිබුණි. පදිංචි දිස්ත්‍රික්ක අනුව රෝග ව්‍යාප්තිය සැලකීමේදී ඉහලම දියවැඩියා ව්‍යාප්තිය වාර්තා වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. (11%)මෙම සමීක්ෂණයෙහි එක්රැස් කෙරුණු තොරතුරු අනුව සමීක්ෂණයට සති 04 කට පෙර කාලය සැලකීමේදී, ජනගහනයෙන් 15% පමණ කිසියම් කෙටි කාලීන රෝගයන් සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇත.
තවද, මෙම කෙටි කාලීන එහෙත් පැතිරිය හැකි රෝගාබාධ බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ, අවුරුදු 15 ට වඩා අඩු දරුවන් අතරය. එනම්, ඕනෑම අවුරුදු 15 ට අඩු දරුවන් 6 දෙනෙකුගෙන් අයෙක් (24%) සමීක්ෂණයට පෙර සති 4 ක කාලය තුල කිසියම් වූ කෙටි කාලීන රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත.
සමීක්ෂණයට පෙර මාස 03 ක කාලය තුල ප්‍රතිකාර ගැනීමට සිදුවූ හදිසි අනතුරු පිළිබඳවද සමීක්ෂණය මගින් තොරතුරු එක් රැස් කරන ලදී. අනතුරට ලක්වූ ස්ථාන අතරින් “නිවස” (43%) ඉහළම ප්‍රතිශතය පෙන්වයි. අවුරුදු 15 හා ඊට අඩු දරුවන් අතර එය, 57% කි. රැකියා කරන ස්ථානයේදී සිදුවන අනතුරු පිළිබඳව සලකා බැලීමේදී, යම් යම් වෘත්තීන් ආශ්‍රිතව අනතුරු සිදුවීමේ වැඩි ප්‍රවනතාවක් පෙන්වයි. එනම්, රැකියාවේදී අනතුරට පත්වූවන් අතරින් 34% පමණ “කෘෂිකාර්මික හා ධීවර කාර්මිකයන් ” වන අතර 25% පමණ “යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවන්නන් හා එකලස්කරන්නන්” වේ.
මෙම සමීක්ෂණයෙන් ලබා ගත් සියළුම තොරතුරු අඩංගු වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර ඇත. www.statistics.gov.lk
මෙම වාර්තාව එළිදැක්වීමේ උත්සවය සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්. රාෆික් මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, එක්සත් ජාතීන්ගේ ජනගහන පදනමේ නියෝජිත ඇලන් සිබෙනෙල මහතා , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගී වූහ.