අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෙයින් ගෙට ගොස් මදුරු පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩසටහන හෙට සිට

    ජූනි 26, 2016

    දිවයින පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වීමත් සමඟ ත‍්‍රීවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් හෙට (27) සිට අඛණ්ඩව ගෙයින්ගෙට ගොස් පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ ශ‍්‍රමදාන ඇතුළත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට නියෝග කර ඇත.


    මෙම වැඩසටහන සඳහා ත‍්‍රීවිද හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරචිචි මහතාට දුරකතනයෙන් දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


    2016 වර්ෂයේ මේ වනවිට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 19,731 ක් දිවයින මුළුල්ලෙන්ම වාර්තා වී ඇති බවත්, ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 47.61% ක් පමණ වාර්තා වුයේ බස්නාහිර පළාතෙන් බවත්, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    විශේෂයෙන්ම, කොළොන්නාව, කඩුවෙල, ගම්පහ, දෙහිවල ගල්කිස්ස යන ප‍්‍රදේශවල මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

    ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වු කොළොන්නාව, කඩුවෙල, ගම්පහ ප‍්‍රදේශවල තවමත් කසල ද්‍රව්‍ය තිබීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම වැඩිවී තිබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ගෙන ඇත.

    එමෙන්ම දිවයින පුරා රෝහල් ආශ‍්‍රීතව ඇති ධූමායන යන්ත‍්‍ර කොළඹට ගෙන්වා ධූමායන කටයුතු සිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (25) සිට ආරම්භ කොට තිබේ. විශේෂයෙන්ම දෙහිවල ගල්කිස්ස ප‍්‍රදේශයේ මදුරු වසංගත තත්ත්වය ඉහළ ගොස් ඇත. එමෙන්ම පාසල් සහ ඉදිකිරීම් වැඩබිම්වල ඩෙංගු අවධානම වැඩිවී තිබේ. පාසල් ආශ‍්‍රීතව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර සුද්ද පවිත‍්‍ර කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින්  දැනුම් දී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව වැඩබිම් ආශී‍්‍රතව මදුරුවන් බෝවීමේ ප‍්‍රතිශතය 2015 දී සියයට 38ක් පැවැති අතර, 2016 වසරවන විට එය සියයට 40 දක්වා ඉහළ ගොස් ඇත.

    පාසල් තුළ මදුරුවන් බෝවීමේ ප‍්‍රතිශතය 2015 දි සියයට 32 ක්ව පැවති අතර 2016 දී එය සියයට 38 ක් ලෙස වර්ධනය වී ඇති බව අනාවරණය විය.

    කොළඹ නගරය පුරා ඇති ඉදිකිරීම් වැඩබිම් වලින් සියයට 70 කට වැඩි ප‍්‍රමාණයට මේ වනවිට රතු නිවේදන නිකුත් කිරීම ද පියවර ගෙන ඇත.

    එමෙන්ම මෙම මස 30 සිට ජුලි 02 දක්වා ති‍්‍රවිධ හමුදාව හා පොලිසියේ ද සහභාගීත්වයෙන් යළිත් තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya