අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලාවරෝධ විශේෂ විධිවිධාන පනතින් දේපල ගැටලුවට සහන

    ජූනි 22, 2016

    කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත යටතේ 1983 මැයි 01 වනදින සිට 2009 මැයි මස 18 වන දින දක්වා කාලය තුළ රට තුළ පැවති ගැටුම් හේතුවෙන් දේපල හිමිකම් තහවුරු කරගැනීමට අවස්ථාව නොලද තැනැත්තන්ට  කාලාවරෝධ විශේෂ විධිවිධාන පනතින් සහන ලැබෙන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.


    2016 මැයි 17 වන දින සිට 2018 මැයි 16 වන දින දක්වා වසර 02ක කාලයක් තුළ කාලාවරෝධ නීතියේ බලපෑමකින් තොරව දේපල හිමිකම් සනාථ කර ගැනීමට නීතියේ ප්‍රතිපාදන සැලසෙන බව  ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

     

    ඉඩම් ඇතුළු නිශ්චල දේපල පිළිබඳ ගැටලුවලට මුහුණ දුන් ජනතාවට නීතිමය රැකවරණයක් ලබාදීම සඳහා කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත්  කෙටුම්පත පසුගිය  මාර්තු 08 වන දින අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගෙන තිබේ.

     

    ඒ අනුව වසර 02 කාලසීමාවක් සඳහා බලපවත්වන කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත 2016 මැයි මස 17 වන දින සිට 2018 මැයි මස 16 වන දින දක්වා කාලසීමාව තුළ වලංගුව පවතින බැවින්, එකී දේපල සම්බන්ධව මෙම කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත යටතේ නඩුවක් ඉදිරිපත් කර එම ජනතාවට නීතියේ සහන  ලබා ගත හැකි බව අධිකරණ අමාත්‍යාංශය අවධාරණය කරයි.


     
    වසර 30කට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුධමය වාතාවරණය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාතේ මෙන්ම රටේ සෙසු පළාත්වලද ජනතාවගේ ඉඩම් ඇතුළු නිශ්චල දේපල ආපසු ලබා ගැනීම සඳහා සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වු ජනතාවට නීතිමය විධිවිධාන සලසා දීම සඳහා හා ඊට සම්බන්ධ අනුශාංගික කාරණා සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් නොතිබීමෙන් එවැනි අවස්ථාවන් වලට මුහුණ දුන් ජනතාවට බොහෝ  දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වු බැවින් මෙම තීරණය ගෙන තිබේ.

     

    මෙම පනත් කෙටුම්පත ගෙන ඒමත් සමග1983 මැයි මස 01 දිනෙන් ආරම්භ වී 2009 මැයි මස 18 වන දිනෙන් අවසන් වන කාලසීමාව තුල යම් සටන්කාමී ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරකම් හේතුකොට ගෙන ඇතැම් තැනැත්තන් අවාසි සහගත තත්වයන්ට පත් වී ඇත්නම් ඔවුන්ට අදාල  ඉඩම් ඇතුළු නිශ්චල දේපල ආපසු ලබා ගැනීම සදහා සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වු පුද්ගලයන්ට 2016  කාලාවරෝද විශේෂ විධිවිධාන පනතින් සහන ලබා ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඉටු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    කාලාවරෝධ විශේෂ විධිවිධාන පනතේ 2 (1) වගන්තිය යටතේ සිය නිශ්චිත දේපල ආපසු ලබා ගැනීම සඳහා එවැනි අවාසි සහගත තත්ත්වයන්ට පත් වු තැනැත්තෙකුට ඉඩම් හිමිකම් ලබා ගැනීම සදහා නඩු පැවරීමට මෙම පනතින්  විධිවිධාන සලසා තිබේ.

     

    එමෙන්ම පනතේ විධිවිධාන වලට අනුව වෙනත් තැනැත්තෙකු විසින් ඉඩම් ඇතුළු වෙනත් දේපල සන්තකයේ දැරීම මගින් හෝ එසේ සන්තකයේ දැරීමට ප්‍රකාරව ඉඩම් ඇතුළු නිශ්චල දේපල කාලාවරෝධ විශේෂ විධිවිධාන පනතේ 3 වන වගන්තියට අනුව එසේ සන්තකයේ දැරීම හේතුකොට ගෙන යම් අයිතිවාසිකමක් එම තැනැත්තාට ලැබෙන බවට සලකනු නොලැබිය යුතුය යන්න දක්වා තිබේ.

     

    කාලාවරෝධ පනතේ  (2) 68 විධිවිධාන වලට අනුව දේපල සඳහා හිමිකම්පාන තැනැත්තෙකු හෝ එම තැනැත්තා අවාසිදායක තත්ත්වයකට පත්වී ඇත්නම්  ඊට නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.

     

    අවාසිදායක තත්ත්වයකට පත් වු තැනැත්තෙකු මියගිය හොත් ඔහු එසේ අවාසි සහගත තත්ත්වයට පත්ව සිටි කාල සීමා ඔහුගේ උරුමකරුගේ හෝ  උරුමකරුවන්ගේ ප්‍රතිලාභයට එක් විය යුතුය යන්න සඳහන් කර තිබේ.

     

    එසේම ඉඩම් ඇතුළු නිශ්චල දේපලයක් ආපසු ලබා ගැනීම සඳහා සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කර ගැනිමට නොහැකි වු අවාසිදායක තත්ත්වයට පත් වු තැනැත්තෙකුට මේ පනත ක්‍රියාත්මක වීමෙන් පසු මාස 12ක් තුළ මෙම පනත මගින් පිරිනමනු ලබන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නඩු පැවරිම සඳහා හිමිකම් ඇති බව ද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    මෙම කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත ගෙන ඒමට ප්‍රථම උතුරු නැගෙනහිර පළාත්වල පදිංචි ජනතාවගේ ඉඩම් අයිතිය නීතියෙන් තහවුරු කරගැනීම සඳහා ගැටලු‍ ගණනාවක් මතුව තිබු අතර, මෙම විශේෂ විධිවිධාන පනත ගෙන ඒමෙන් පසු එවැනි ගැටලුවලට මැදි වු විශාල පිරිසකට විශේෂ සහනයක් වන බව පක්ෂ විපක්ෂ බොහෝ මහජන නියෝජිතයින්ගේ අදහස වු අතර, මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසු විශාල සහනයක් එම ජනතාවට ලැබෙන බව මෙම පනත ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

     

    පනතේ විධිවිධාන 464 වන අධිකාරිය ඉඩම් සංවර්ධන ආඥා පනත,1979 අංක 43 දරන ඉඩම් ප්‍රධාන විශේෂ විධිවිධාන පනත හෝ 454 වන අධිකාරිය වු රජයේ ඉඩම් ආඥා පනත යටතේ ප්‍රදානය කරන ලද ඉඩම් සඳහා හෝ ඒ සම්බන්ධයෙන් මෙම පනතේ විධිවිධාන රජයේ ඉඩම් වලට අදාළ නොවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    මෙම කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත මගින් 1983 මැයි මස 01 වන දිනෙන් ආරම්භ වී 2009 මැයි මස  18 වන දින දක්වා ඉහත කාලරිච්ඡේදය තුළ ඕනෑම අවස්ථාවක ත්‍රස්ථවාදී ක්‍රියා හේතුවෙන් පැවත් අවස්ථානුගත තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස තම අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පිළිසරණ පැතීමට නොහැකිව අවාසිදායක තත්ත්වයන්ට පත්වු තැනැත්තන් හට ඉහත කී කාලසීමාවේදී ඕනෑම අවස්ථාවකදී අනෙක් තැනැත්තා සන්තකයේ පැවති ඒ තැනැත්තාගේ දේපල අනෙක් තැනැත්තා වෙතින් නැවත අත්පත් කර ගැනීමට කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත මගින් සහන සලසා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya