මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සඳහා මුදල් වියදම් කිරීමේ යුගය අවසන් කළා- වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග

    ඔක්තෝබර් 29, 2015
     
    විවිධ උත්සව සඳහා කෝටි ගණනින් වරායේ මුදල් වියදම් කිරීමේ යුගය අවසන් කිරීමට දැන් හැකිවී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 
    එතුමා මේ බව පැවසුවේ රුවනි ඩයස් බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ තෙල් බැංකු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙහි වැඩභාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීම සඳහා පසුගිය ආණ්ඩුව කළ වියදම් සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ වාර්තා ගැන මෙහිදී වැඩිදුරටත් ප්‍රතිචාර දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා අවධාරණය කළේ එකී වියදම් ගැන සවිස්තර වාර්තාවක් දැන් සකසමින් පවතින බවයි. “හම්බන්තොට වරායේ පළමුවැනි අදියර විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මුදල් වියදම් කරලා තියෙන්නේ එක් අංශයකින් නෙමෙයි. එක එක අංශවලින් මුදල් වියදම් කරලා තියෙන්නේ. 
     
    අපි දැන් ඒ සම්පූර්ණ මුදල ගැනත් සොයා ගෙන යනවා. ඒ වගේම අපි දැන් තීරණය කරලා තියෙනවා එවැනි උත්සව අවශ්‍ය  නැහැ කියලා. උත්සවයක් තියනව නම් එහි ප්‍රතිලාභ ආයතනයට තිබිය යුතුමයි....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     
    හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීමේ උත්සවයේ නර්තනාංග සඳහා පමණක් රුපියල් ලක්ෂ 150 ක් වැය කළ බවට දැන් තොරතුරු හෙළිවෙමින් පවතී. එම උත්සවයේ වෙනත් වියදම්ද ඉහළ අගයක් ගනී.වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එවැනි වියදම් පිළිබඳව වරායේ දූෂණ සහ වංචා සෙවීමට පත් කළ, නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. එදා කෝටි ගණන් වැයකර පැවැත්වූ උත්සව දැන් කිසිඳු බාහිර වියදමකින් තොරව, එහෙත් අභිමානවත් ලෙස පැවැත්වීමට තමන්ට හැකි වී ඇතැයිද අර්ජුන රණතුංග මැතිතුමා අවධාරණය කළේය. 
     
    “හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීම සඳහා පැවැත්වූ උත්සවයට විදයම් කළ මුදලට සාපේක්ෂව හම්බන්තොට වරායට ලැබුණු ප්‍රයෝජනයක් නැහැ. මේ මුදල යොදා ගෙන එහි සේවක සේවිකාවන්ට නවාතැන් පහසුකම් සඳහා ගොඩනැගිල්ලක් හදන්න තිබුණා. නැතිනම් හම්බන්තොට වරාය නිසා ඉඩම් අහිමි වූවන්ගේ සුබසාධනය සඳහා ඒ මුදල් යොදවන්න තිබුණා. රටට ඇත්තටම ආදරේ නම් අපි මුදල් වියදම් කළ යුත්තේ අපේ නම් දාලා බෝඩ් ගහන්න නෙමෙයි. මහජනතාවට ප්‍රයෝජනයක් වන සේ. අපිට එවැනි ආදර්ශයක් මුළු රටටම ලබා දෙන්නත් හැකි වුණා. අපි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියර විවෘත කළා.හම්බන්තොට වරායේ දෙවැනි අදියර යටතේ වරායට ජලය යොමුකළා. 
     
    ඒ සදහා බාහිර වියදමක් තිබුණේ නැහැ. නමුත් අපි ඉතා චාම්ව මේ අවස්ථා දෙකම ඉහළින් සැමරුවා. ඒ විතරක් නෙමෙයි අපි සියලුදෙනාටම පණිවිඩයක් දුන්නා නව ආයෝජන අවස්ථා සඳහා පැමිණෙන්න කියලා. ” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     

    මෙම අවස්ථාවට  වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන්ද සහභාගි වූහ.

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya