කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දැවැන්තයා වන මහවැලි අධිකාරියට නැවත පණදීමට කටයුුතු කරන බවත් මහවැලි පුනරුදය නැවත ඇති කරන බවත් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ මහතා අද(12) පාර්ලිමේන්තුවේ දී පැවසීය. අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වැව්, වාරිමාර්ග ඉදි කිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 60,000 ක පමණ මුදලක් අයවැයෙන් වෙන් කර ඇතැයිද ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මහවැලි පුනරුද සතියක් අපි ප්‍රකාශයට පත් කළා. එහිදී වැඩ දහසක් කිරීමට අපි සැලසුම් කරනවා. ශ්‍රමදාන හරහා ජනතා සහභාගිත්වයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට වැඩ ගණනාවක් සිදු කර තිබෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍ර යේ තිබෙන දැවැන්තයා තමයි මහවැලි අධිකාරිය. එය බිම දැමීමට පසුගිය කාලයේ දේශපාලඥයන් කටයුතු කර තිබෙනවා. කෘෂි කර්මාන්තයේ දැවැන්ත වෙනසක් කිරීමට මේ අධිකාරිය අපි යොදා ගන්නවා.
වාරිමාර්ග ක්ෂේත්‍රයේ බොහෝ ව්‍යාපෘති තිබෙනවා. ඒවා ගැටලු සහිතයි. ව්‍යාපෘති 7 ක් තිබෙනවා. ඉන් 5 ක් කෙසේ හෝ මේ වසරේ අවසන් කරනවා. අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. යාන් ඔය ව්‍යාපෘතිය තිබෙනවා. එහි බොහෝ වැඩ අවසන් කළත් ගැටලු ගොඩයි. එය අවසන් කිරීමට රුපියල් මිලියන 2350 ක් අයවැයෙන් වෙන් කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතියත් තිබෙනවා. එහි කොටස් දෙකක් තිබෙනවා. බහු කාර්ය ව්‍යාපෘතිය සහ උමා ඔය පහළ සංවර්ධන ව්‍යාපෘතිය. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ගත් විට වඩාත්ම ආන්දෝලනයට තුඩු දුන් ව්‍යාපෘතියක්. එහි ගැටලු ගොඩක් තිබෙනවා. ව්‍යාපෘතිය අවසන් කිරීමට රුපියල් මිලියන 1920 ක් වෙන් කර තිබෙනවා. බහු කාර්ය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් වූ කොටසක් සිටිනවා. ඉඩම්, පානීය ජලය, නිවාස හානි වීම, වන්දි සම්බන්ධයෙන් නිර්දේශ කිරීමට පස් දෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරනවා.